mahesh-bagel-incident

පුද්ගලයකු මියගොස් විනාඩි 30 කට පසු නැවත ජීවතුන් අතරට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එම පුද්ගලයා භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන 65 හැවිරිදි මහේෂ් බගේල් නම් දේශපාලනඥයකු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත. මහේෂ් බගේල් මහතාගේ හදවතේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඔහු අග්‍රා නගරයේ පුෂ්පාන්ජලී රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඉන්ද්‍රීයන් අකර්මණ්‍යවීම නිසා, වෛද්‍යවරුන් මහේෂ් බගේල් මියගිය තැනැත්තකු ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

රෝහලේ වෛද්‍යවරුන් බගේල් මහතාගේ මරණය තහවුරු කිරීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ දේහය නිවෙසට ගෙන විත් ඇති අතර, නිවෙසට පැමිණ පැය භාගයකට පමණ පසු නිසල දේහයේ අතපය සෙලවෙන අයුරු පවුලේ සාමාජිකයකු දැක ඇත.

ඉන් කම්පාවටත් සතුටටත් පත් මහේෂ් බගේල් මහතාගේ පවුලේ සාමාජිකයන් නැවතත් ඔහු අග්‍රාහි පිහිටි රෝහලට රැගෙන ගොස් ඇත. එහිදී බගේල් මහතා ජීවතුන් අතර බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
විමුක්ති එස් රුද්‍රිගු