matale-monks-arrested

මාතලේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික ඉඩමක හුදෙකලාව පැවැති බංගලාවකට අයුතු ලෙස ඇතුළු වීමක්සම්බන්ධව විහාරාධිපති රත්තොට ප්‍රාදේශීය සභා‍වේ හිටපු සභාපති හිමි නමක ඇතුළු හිමිවරුන් පස් නමක් ද ඊයේ (17) අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන බව මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි. මහනුවර, වැරැල්ලගම, පල්ලේකොටුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති  හෙම්මාවතගම ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරුන් පස්නමක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.



පෞද්ගලික වත්තක අයිතිකරු කළ පැමිණිල්ලකට මෙම හිමිවරුන් අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව කළ පරීක්ෂණයේ දී අයුතු ඇතුළු වීමක් හා දේපළ හානියක් සිදුවී ඇති නිසා අත්අඩංගුවට ගත් හිමිවරුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන මහතා පැවැසීය. හුදෙකලාව පැවැති මෙම වතු බංගලාව  ශාසනික ව්‍යාපෘතියකට ලබා දෙන ලෙස අත්අඩංගුවට ගත් හෙම්මාවතගම ධම්මරතන හිමියන් ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයෙන් 2023.05.08 වැනිදා ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය මේ සම්බන්ධව සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී අක්කර 419යි රූඩ් 03ක මුළු ඉඩමට මෙම වතු බංගලාව සහ අක්කර 05 පමණ ඉඩම අයිති නොවන බව මාතලේ දිස්ත්‍රික් ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය මාතලේ දිස්ත්‍රික් ඉඩම් අංශයට වාර්තා කර තිබේ.
ඇම්.ඩබ්ලිව්. සෝමරත්න