mirihana-scandal

මිරිහාන උඩහමුල්ල දුම්රියපළ ආසන්නයේ මත්කුඩු බෙදා හරිමින් සිටි 43 හැවිරිදි පුද්ගලයකු පසුගිය 3 දින උදෑසන අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ලක්ෂ විස්සකට ආසන්න ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් රැසක් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සොරකම් සඳහා ආධාර අනුබල දුන් 41 හැවිරිදි නාවල,

කොළඹගේ මාවත ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

කැලණිය, පිළියන්දල, මරදාන, කොල්ලුපිටිය වැනි ප්‍රදේශවල දී සොරකම් කරන ලද ත්‍රීරෝද රථ තුනක් සහ යතුරුපැදි තුනක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු උඩහමුල්ල, දුම්රියපළ පටුමග ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් දිනකට රුපියල් විසිදහසක පමණ හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් පොලීසිය පැවසීය. නාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු වාහන තහඩු හා පින්තාරු කාර්මිකයකු වශයෙන් සේවය කරන්නකු බවත්, ප්‍රධාන සැකකරු රියදුරු වෘත්තියේ යෙදෙන්නකු බවත්,

සොරකම් කරන ලද ත්‍රීරෝද රථ එන්ජින් අංක හා චැසි අංක සූරා මකා දමා වෙනත් අංක ඉතා සූක්ෂම ලෙස සටහන් කොට පින්තාරු කොට පාට වෙනස් කර ඉතා අඩු මුදලකට විකුණා ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එසේ පාට හා අංක වෙනස් කර තිබූ ත්‍රීරෝද රථයක් බියගම ප්‍රදේශයේ පුද්ගලයකුට 50,000/-ක මුදලකට විකුණා තිබියදී සොයාගත් බවත් තවත් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් උඩහමුල්ල ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදී සොයාගත් බවත් එක් යතුරුපැදියක් සැකකරු සන්තකයේ තබා ගනිමින් පාවිච්චි කර ඇති බවත් පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා මෙම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ යොදා ගනිමින් වෙනත් අපරාධ සිදුකර ඇත්දැයි පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය. සැකකරුවෝ නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ