mulleria-baby-incident

නිවසේදී ප්‍රසුත කළ බිලිඳකු උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනැවිත් දමා බිලිදාගේ මරණය සිදුකළ බව කියන අඹුසැමි යුවළක් මුල්ලේරියාව පොලිසිය විසින් ඊයේ (9) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26ක් වයසැති කාන්තාවක සහ විසිහතර හැවිරිදි පුද්ගලයකු බවත් ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහිව සිටින්නන් බවත් පොලිසිය පවසයි. සැකකාරිය දරුවකු ප්‍රසුත කිරීමට සිටින බව ප්‍රදේශවාසීන්ගෙන් වසන්කර ඇති අතර, පෙරේදා (8) රාත්‍රියේ ඇය නිවසේ දී බිලිඳකු ප්‍රසුත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බිලිඳා ප්‍රසුත කිරීමෙන් පසු සැකකාරිය සැමියා සමග එක්ව කතුරකින් පෙකනිවැල කපා දමා දරුවා කිලෝමීටර් භාගයක පමණ දුරින් ඇති වීදියබණ්ඩාර මාවතේ ඇළ අසලට දමා ගොස් ඇති බව ද පොලිසිය කියයි.

මාර්ගයේ බිලිඳු මළ සිරුරුක් ඇති බවට මුල්ලේරියාව පොලිසියට ඊයේ උදේ ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් මළ සිරුර පරීක්ෂා කර ඇති අතර, එය ලේ වලින් නැහැවී තිබු බවත්, බිලිඳාගේ හිසේ කබරයකු හෝ කිසියම් සතකු සපා කෑ තුවාල දක්නට තිබු බවත් පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරකට ලේ පැල්ලම් වැටී තිබී ඇති අතර, ඒ ඔස්සේ පොලිසිය පැය භාගයක් ඇතුළත එම අඹුසැමි යුවළගේ නිවසට ගොස් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත. නිවසේද දරු ප්‍රසුතිය සිදුකළ ලේ පැල්ලම් හා වැදෑමහේ කොටස් තිබු බවද පොලිසිය කියයි.

දරුවා ප්‍රසුත කළ මව රෝගී තත්වයෙන් නිවසේ වැටී සිටිය දී ඇය අත්අඩංගුවට ගෙන පොලිස් කොස්තාපල්වරියකගේ ආරක්ෂාව යටතේ රෝහල් ගතකර ඇත. බිලිඳාගේ පියා පොලිසිය විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබීය. දරුවා උපන් හැටියේම මියගොස් සිටි බවත්, ඒ අනුව මළ සිරුර හොර රහසේම පාරට ගෙනවිත් දැමු බවටත් සැකකරු ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක