namunukula-incident

නමුණුකුළ, බූටාවත්තේ වාර්ෂික රදම් පෙරහරේ රදම්කරත්තය අධිබලැති විදුලිරැහනක පැටලීම නිසා විදුලිසැර වැදුණ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත් තිදෙනෙකු තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුළ පොලීසිය පැවසීය.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, නමුණුකුල, බූටාවත්තේ පදිංචිව සිටි ගනේෂන් රමේෂ් (අවු.37) සහ පන්තීර් සෙල්වකුමාර් (අවු.27) යන දෙදෙනාය.

මීට අමතරව ගානන්ද සෙල්වම්, එම්. මහදේවන් සහ ඩී. රාසයියා යන තිදෙනා තුවාල ලබා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ගන්නා බවද පොලීසිය පවසයි.

එසේම පෙරේදා 23වැනිදා දවහල් ආරම්භ කළ රදම් පෙරහර ඊයේ (24දා)අලුයම වනතෙක් පැවති අතර, පෙරහර අවසන් කර රදම් කරත්තය කෝවිලට රැගෙන යද්දී මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.



රදම් කරත්තේ ඉහළට සවිකර ඇති කොටස මෙසේ අධිබලැති විදුලි රැහැනේ පැටලීමෙන් මේ ඛේදවාචකය සිදුව තිබේ.

මියගිය දෙදෙනාගේ මෘතශරීර එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත නමුණුකූල පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

 බදුල්ල - පාලිත ආර්යවංශ / ලුණුගල - ප්‍රසන්න පත්මසිරි