old-love-murder

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇය හොර රහසේ රැගෙන ගොස් සිටි 55 හැවිරිදි පුද්ගලයකු තරුණියගේ පාරිශ්වයේ පිරිසක් විසින් ගස් බැද පහර දී ඝාතනය කරනු ලැබ ඇති බව චුන්නාකම් පොලිසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සංගුවේලි ප්‍රදේශයේ මරියදාස් ජයදාස් ආරුමුගම් නමැති 55 හැවිරිදි තැනැත්තකු බව පොලිසිය කියයි.

මොහු විවාහක දෙදරු පියකු බව ද පොලිසිය සඳහන් කරයි. ඔහු ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, මේ සම්බන්ධයට තරුණියගේ පාර්ශ්වයෙන් දැඩි විරෝධය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

මෙම විරෝධය මැද ඉකුත් 5 වැනිදා මොහු තරුණිය සමග පැනගොස් ඇති බවත්, තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් ඉකුත් 5 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් චුන්නාකම් පොලිසිය කියයි.

තරුණියගේ පාර්ශ්වයෙන් මෙම දෙදෙනාට කතා කර ඔවුන් දෙදෙනාගේ විවාහයට කැමැත්ත පළ කර විවාහ කර දීමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි. එම දැනුම් දීම අනුව තරුණියත් ඇයගේ 55 හැවිරිදි පෙම්වතාත් ත්‍රිරෝද රථයකින් තරුණියගේ නිවෙසට පෙරේදා (7) පැමිණි අවස්ථාවේ තරුණියගේ ඥාතීන් හා අවට පිරිස් දෙදෙනාට පහර දී ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

එහිදී එම පිරිස 55 හැවිරිදි පුද්ගලයා ගස් බැඳ පොලුවලින් පහර දී ඇති අතර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඔහු මුදාගෙන තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. සැකකරුවන් 19 හැවිරිදි තරුණියට ද පහර දී තුවාල සිදු කිරීම හේතුවෙන් ඇය ද තෙලිප්පලේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දිකා රාමනායක