olga-carmona-dad-world-cup-final-spain

පියා මියගොස් සිටිය දී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය කරා රැගෙන ගිය එම කණ්ඩායමේ නායිකාව වන 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා පිළිබඳ පාපන්දු ක්‍රීඩා ලෝලීන් අතර කතා බහට ලක්ව ඇත. ඔල්ගා කාමෝනා තම රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් ස්පාඤ්ඤයට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුවද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් දැන ගන්නට ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් ලැබී නැත.

එයට හේතු වී ඇත්තේ ලෝක කුසලාන අවසන් මහ තරගය නිම කළ වහාම ඇයගේ පියා පසුගිය 18 වැනිදා මියගොස් ඇති බව ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඔල්ගා කාර්මෝනා දැනුම් දීමට කටයුතු කිරීමයි.

දිගු කාලීන රෝගී තත්වයක් සමඟ සටන් වදිමින් සිටි ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මිය ගොස් ඇතත් ඇයගේ පවුලේ සාමාජිකයන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමවන  තෙක් ඇයට මෙම අසුබ පුවත දැනුම් දීම සිදු නොකළ යුතු බව තීරණය කර ඇති අතර ඒ හේතුවෙන් මෙම අසුබ පුවත අවසන් තරගය නිම වන තෙක් ඇයට දැනුම් නොදුන් බවත් අවසන් තරගය නිම වූ වහාම ඇයට මෙම අසුබ පුවත දැනුම් දීමට ක්‍රියා කළ බවත් ස්පාඤ්ඤ පාපන්දු සංගමය පවසා ඇත.



තමාගේ පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා කාර්මෝනා සටහනක් තබමින් තම පියාට ගෞරව  දැක් වූවාය. ඔල්ගා තැබූ සටහනේ මෙසේ දැක්වේ, “ ඔබගේ මරණය ගැන නොදැනුවත්ව මගේ නිල ඇඳුමේ තරු පැළඳ ගනිමින් අවසාන තරගයට ක්‍රීඩා කළා ඉතාම සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩ ඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබා දුන්නා මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරගය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ. ''

සිඩ්නි හි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව පෙරේදා (20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූයේය.එම තරගයේ දී එංගලන්ත පාපන්දු කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලබා නොදුන් අතර ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම මෙන්ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ඔල්ගා කාර්මෝනා සමත් විය.
විමුක්ති එස් රුද්‍රිගු