onesh-jakartha

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සුපිරි හෝටලයක දී ඝාතනය කෙරුණු කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඕනේෂ් සුබසිංහ මහතාගේ දේහය එම ඝාතනයෙන් මාස අටකට පසුව පෙරේදා (1) රාත්‍රියේ මෙරටට ගෙන එනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පවසයි. මෙරටට ගෙන එනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ඊයේ (02) පැවැත්වීමට නියමිතව තිබිණි. ඉන්දුනීසියාවේදී ද මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති බවත් පොලිසිය පවසයි.



කෝටිපති ව්‍යාපාරිකයා ඉන්දුනීසියාවේදී පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ සහෝදරියක වන කොළඹ 7 විජේරාම මාවතේ පදිංචි අනෝෂි සුබසිංහ මහත්මිය ගුවන්තොටුපොළ පොලීසියට පෙරේදා පැමිණිලි කළාය. මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්මෝ මැල්කම් පේට් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශය භාර සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතාගේ උපදෙස් මත එම අංශයේ පොලිස් කණ්ඩායමක් ද මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.



මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බ්‍රසීල ජාතික බිරිය සහ බිරියගේ බ්‍රසීල ජාතික මිතුරියත් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මේ වනවිටත් ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා ඇත. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර හෝටලයක දී මෙම කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය ජනවාරි මසදී ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ කුඩා දරුවා ද රැගෙන බිරිය සහ බිරියගේ මිතුරිය බ්‍රසීලයට පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු රහස් පොලිසියට ලැබී ඇතැයි කියති. කෝටිපති ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරියගේ මිතුරිය බ්‍රසීලයේ පාතාලයට සම්බන්ධ තැනැත්තියක බවට තොරතුරු ලැබී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය