pakistan-punjab-churches-vandalized-blasphem

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කතෝලික දේවස්ථාන අටක් ගිනි තබා ඇති බව වාර්තාවේ. ඊට හේතුවී ඇත්තේ ඉස්ලාම් ආගමට අපහාස කළා යයි කියැවෙන සිද්ධියක් නිසාය.

රජයේ බලධාරීන් සහ නිවැසියන් පවසන පරිදි බදාදා පල්ලි අටක් සහ නිවාස කිහිපයක් විනාශ කර ඇති අතර "ශුද්ධ වූ අල් කුරානය කෙලෙසීම සහ මුහම්මද් නබිතුමාට අපහාස කිරීම" යන පදනම මත ජරන්වල නගරයේ ප්‍රාදේශීය පොලිසිය ක්‍රිස්තියානි පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා එල්ල කිරීමේ සිද්දියෙන් පසු මෙම තත්වය ඇතිවතිබේ.
වැඩිදුරටත් වාර්තාවන්නේ පාකිස්ථානයේ දේව අපහාස නීතිය යටතේ මෙම පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා ඇති බවයි.
මානව හිමිකම් සඳහා වූ ජාතික කොමිෂන් සභාව, බදාදා දින සිදු කළ තොරතුරු දැක්වීමක දී, නීතිමය වශයෙන් සියලු පියවර ගෙන තිබියදී ගිනි තැබීමේ සිදුවීම අනුමත නොකරන බව හා තත්වය
 "ශෝකජනක හා ලැජ්ජා සහගත" ලෙස හඳුන්වා තිබුණි.



පකිස්තානයේ ක්‍රිස්තියානි ප්‍රජාවන් නිතිපතා රටේ දැඩි අපහාස නීති මගින් වින්දිතයින් බවට පත්වීමේ සිදුවීම් බහුලය. ඓතිහාසිකව සුළු ජාතීන්ට හිංසා කිරීමට සහ ඔවුන් පොදු ජීවිතයෙන් හුදකලා කිරීමට මෙය සිදු කරන බව දක්නට ලැබේ.

සමාජ සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානයේ සේවය කරන සහ සිද්ධිය වන අවස්ථාවේ නගරයේ සිටි යසීර් තලිබ් පැවසුවේ, ඉස්ලාම් ආගමට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූ එක් ක්‍රිස්තියානි පුද්ගලයෙකුගේ නිවසකටද පිරිසක් කඩා වැදී ගිනි තැබූ බවයි.

නගරයේ කතෝලික පල්ලිය, ගැලවීමේ හමුදා පල්ලිය සහ පෙන්තකොස්ත පල්ලිය මෙන්ම ප්‍රාදේශීය ක්‍රිස්තියානි ජනපදය ඇතුළු පල්ලි කිහිපයක් ද විනාශ කර ගිනි තබා ඇති බව තලිබ් පැවසීය.

පකිස්ථානයේ භාරකාර අගමැති අන්වාර්-උල්-හක් කකාර් ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින්, X (ට්විටර්) හි ප්‍රකාශයක් කරමින්, “නීතිය කඩ කරන සහ සුළු ජාතීන් ඉලක්ක කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා” බව දැක්වීය.

2013 දී, ලාහෝර්හි බදාමි බාග් ප්‍රජාව සම්බන්ධව කෝපයට පත් මුස්ලිම්වරුන් විසින් කිතුනුවන්ගේ නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කරන ලද අතර, මොහොමඩ් නබිතුමාට එරෙහිව කතා කළ බවට චෝදනා ලැබූ 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මීට වසර තුනකට පෙර, පන්ජාබ් ප්‍රාන්තයේ පස්දරු මවක්, මොහොමඩ් නබිතුමාගේ නාමය කෙලෙසීමේ චෝදනාවට ලක් වූ පසු, දේව අපහාසයට වරදකරු වී එල්ලා මැරීමට නියම කරන ලදී.