panadura-69-9

අවුරුදු නවයක් වයසැති දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන්  වැරදිකරු වූ 69 හැවිරිදි පුද්ගලයකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා අවුරුදු හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. බණ්ඩාරගම පදිංචි 69 හැවිරිදි පුද්ගලයකුට මෙම දඬුවම්  නියම විණි. සිර දඬුවමට අමතරව රුපියල් 2500ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරු 2014 නොවැම්බර් මස 29   හෝ ඊට ආසන්න දිනක එවකට නව හැවිරිදි බාලවයස්කාර දැරියක සිය  නිවෙසට කැටුව ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු  පවරා තිබුණි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ 2 ආ වගන්තිය යටතේ සැකකරුට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.

එල්ල වී තිබූ චෝදනා දෙකකට නිදොස් කොට නිදහස් කළ  විනිසුරුවරයා තුන්වන චෝදනාව යටතේ සැකකරුට දඬුවම් නියම කළේය. නව හැවිරිදි වියේ පසුවූ වින්දිත දැරිය, සීයා කෙනෙකු වන් සැකකරුව විශ්වාස කොට නිවෙසට ගොස් සිටියදී සිදුවූ බරපතළ ලිංගික අපයෝජනයෙන් ඇය දැඩි  මානසික පීඩාවට පත්වන්නට  ඇති බවත් සමාජයට පණිවුඩයක් ගෙන දෙන ආකාරයේ උපරිම දඬුවමක් ලබාදෙන ලෙසත් පැමිණිල්ල  වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තිය  වෙනුවෙන් පෙනී නීතිඥවරිය ඉල්ලා සිටියාය.

සුමිත් පොතුපිටිය