panadura-incident

සුඛෝපභෝගී මෝටර් රථයකට ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන නාවික හමුදාවේ හිටපු කමාන්ඩර්වරයෙක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස ප්‍රදේශයේ දී ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මාස 4ක් පොලිසිය මගහරිමින් සැඟවී සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඔහු පෞද්ගලික ආරක්‍ෂක සමාගමක් පවත්වාගෙන යන අයකු බව පොලිසිය  කියයි.

සැකකරුගේ මෙම සුඛෝපභෝගී මෝටර් රථය, ඔහුගේ ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක සමාගමේ සේවය කරන තවත් කමාන්ඩර්වරයකු පාවිච්චි කරමින් සිට ඇති අතර, වාහනය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් එම කමාන්ඩර්වරයා ගල්කිස්ස ප්‍රදේශයේ දී මීට මාස 4කට පෙර අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී, මෝටර් රථයට ව්‍යාජ ලේඛන සකස් කර එය ධාවනය සඳහා යොදවා ඇත්තේ එම පෞද්ගලික ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ නාවික හමුදා කමාන්ඩර්වරයකු බවත්, සිද්ධියෙන් අනතුරුව අනතුරුව ඔහු පලාගොස් සැඟවී සිටින බවත් හෙළි වූ බව පොලිසිය පවසයි.ප්‍රධාන සැකකරු නොමැතිව මෙම නඩුව විභාග වෙමින් පවතින අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකයේ බුද්ධි නිලධාරීන් දෙදෙනකු සිටි අතර සැකකාර කමාන්ඩර්වරයා ගල්කිස්සේ පිහිටි ආරක්‍ෂක සමාගමට ඊයේ පෙරවරුවේ පැමිණ සිටිය දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දිකා රාමනායක