parliament-scandal

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා බලා ගෙන යන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී  ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රධානියකු පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.



පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සමහර රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී ඇති අතර, එම කමිටු කාමර පසුගියදා පරික්ෂා කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.මේ අතර, එම ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව ඒ ගැන දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී. කමිටුව සේවිකාවන් ඇතුළු 20 කට ආසන්න පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර, මෙම පරීක්ෂණ කටයුතු අඩාළ කිරීමට සහ ඒවාට බලපෑම් කිරීමට නිලධාරීන් පිරිසක් රහසිගතව කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර ඒ පිළිබඳවද පාර්ලිමේන්තු බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පරීක්ෂණ කමිටුවට පසුගියදා උපදෙස් දුන්නාය. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගෙන් අප කළ විමසුමක දී ඇය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් රැසක් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකට එරෙහිව ප්‍රබල සාක්ෂි දී ඇති හෙයින් පරීක්ෂණයේ ප්‍රතිඵල දෙස මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉතා අවධානයෙන් බලා සිටින බවයි. හිංසනයට ලක්වූ එම සේවිකාවන්ට අනිවාර්යයෙන්ම සාධාරණය ඉටු විය යුතු බව ඇය පැවසුවාය.

අංජුල මහික වීරරත්න

සිදුවීමට සම්බන්ධ පෙර විස්තරය
රූමත් සේවිකාවන්ට ලිංගික හිංසා කළැයි පාර්ලිමේන්තු සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම්