parliament-saree

පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී දැනුම් දෙනු ලැබ ඇත. ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ල වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය.



ගෘහපාලන අංශ ප්‍රධානීන් එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටවයද්දීත් සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.කෙසේ නමුත් විවිධ අනුග්‍රහ ලබන සමහර සේවිකාවන් පමණක් සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ සහකාර ගෘහපාලකවරයා වැඩ තහනම් කරනු ලැබ සිටී. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින හෙයින් ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු මෙයට පෙර ප්‍රකාශ කළහ.



සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන අතර සේවිකාවන් ඇතුළු පහළොවකට වැඩි පිරිසක් එම කමිටුව හමුවේ පෙනී සිට දැනට සාක්ෂි දී ඇතැයි වාර්තා වේ. මේ අතර ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයද වෙනම  පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

අංජුල මහික වීරරත්න