peradeniya-university

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී මරණීය තර්ජනය කළ බව පවසමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු සිසුවා විසින් සිදු කරනු ලැබ ඇති පැමිණිල්ලට අනුව පසුගිය 09 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සංවිධානය කර තිබූ ශිෂ්‍ය විරෝධතාවකින් පසු පීඨාධිපතිවරයා දුරකථන මගින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී මරණීය තර්ජනය එල්ල කළ බවට පැමිණිලි කොට තිබේ.



ඊට විරෝධය දක්වමින් සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරීන්ට බලකරමින් ඊයේ (16 වැනිදා) පෙරවරුවේදී ද සනාතන මන්දිරය ඉදිරිපිටදී සිසු විරෝධතාවක් පැවැත්විණි.මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා දුරකථන මඟින් සම්බන්ධ කර ගැනීමට අවස්ථා දෙකකදී උත්සාහ කළත් ඉන් එක් අවස්ථාවක දී මහාචාර්යවරයා කාර්යබහුල බව කෙටි පණිවිඩයක් මගින් දන්වා එවූ අතර අනෙක් අවස්ථාවේදී මහාචාර්යවරයා පසුව දුරකථන ඇමතුමක් ගන්නා බවට කෙටි පණිවිඩ එවා තිබුණත් ඒ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.



මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියෙන් සිදුකළ විමසීමක දී එහි නිලධාරියෙකු පවසා සිටියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පීඨාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල මට්ටමෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් ආරම්භ වී නොමැති බවයි. පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත් විජයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරේ.
 ෂේන් සෙනෙවිරත්න