plane-crash-2-dead

ගුවන් නියමු වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් හා පියාසර නිලධාරි පේෂාන් වර්ණසූරිය සමග චීන වරාය ගුවන් පථයෙන් ගුවන්ගත වූ පී. ටී. සික්ස් (PT-6)ගුවන් යානය ගුවන්ගත වී විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ කඳවුරු භූමියටම කඩාවැටී ඇතැයි මූලික විමර්ශනවල දී තහවුරු වී ඇත.

ඊයේ (07 වැනිදා) උදෑසන 11.27 ට පමණ වූ මෙම අනතුරෙන් ගුවන් නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් හා ගුවන් යානා ඉංජිනේරු නිලධාරි පේෂාන් වර්ණසූරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

ගුවන් නියමු තරිඳු හේරත් මීට වසර 11 කට පෙර එනම් 2012 පෙබරවාරි 13 දා මිග් 27 ජෙට් යානයක නියමුවා ලෙසින් කටුනායකින් ගුවන්ගත වී විනාඩි ගණනක් තුළ යානයේ පාලනය ගිලිහීයෑමෙන් පසුව නිරුපද්‍රිතව යානයෙන් මිදී දිවි බේරාගත් අත්දැකීම් සහිත නියමුවකුද විය.

එදින යානය පාලනයෙන් ගිලිහී යන බව පාලක මැදිරියට දන්වා මිග් 27 යානයේ හදිසි ආරක්ෂිත ස්වීචය ක්‍රියාත්මක කර පැරෂූටය සහිත ආසනයත් සමග යානයෙන් මිදී ඔහු දිවි ගලවාගත්තේය. මිග් 27 යානය දුම්මලසූරියේ පොල් වත්තකට කඩා වැටිණි.

ඊයේ (7 වැනිදා) චීන වරාය විද්‍යා පීඨයේදී සිදු වූ අනතුර ගුවන් යානයේ ගුවන් පරීක්ෂණ කාර්යයක් සඳහා උදෑසන 11.25 ට ගුවන් යානය ගුවන්ගත වී ඇත. වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් චීන වරාය විද්‍යා පීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ පුහුණු උපදේශක ලෙස ක්‍රියාකර තිබිණි.



මෙම ගුවන් යානය ගුවන්ගත වූ පසුව අංශක හැත්තෑවක් දකුණු පැත්තට ඇලවී ගොස් එක්වරම පහළට කඩා වැටී ඇති බවත්, යානයේ මුහුණත පොළොවේ වැදී අනතුර වී ඇති බවත් මූලික විමර්ශනවලදී තහවුරු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය. ගුවන් යානාවේ දෝෂයක් හේතුවෙන් අනතුර වූ බවට ගුවන් හමුදාව පවසයි.

මෙම අනතුර සම්බන්ධව සොයා බැලීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබිණි. ගුවන් හමුදාපතිවරයාද අනතුර ගැන සොයා බැලීමට චීන වරාය කඳවුර වෙත ඊයේ ( 07 වැනිදා) උදෑසන පිටව ගොස් ඇත.

2001 දී ගුවන් හමුදාවට හඳුන්වා දුන් චීනයේ නිෂ්පාදිත පිස්ටන් එන්ජින් සහිත මෙම ගුවන් යානා පුහුණු කටයුතු සඳහා යොදාගනු ලබන්නේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබූ පී. ටී. 06 වර්ගයේ යානා දහතුනෙන් එකක් මෙසේ කඩා වැටී ඇත.

2018 දී හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් ගුවන් හමුදාවට අලුතින් මෙවැනි යානා හයක් මිලදී ගැනීමට කටයුතු යෙදුවේය.

ඊයේ (07 වැනිදා) සිදු වූ අනතුරින් දිවිපිදූ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් අංක 49 පාඨමාලාව යටතේ 2006 ජනවාරියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් නියමුවකු ලෙස එක් වූ අයකි. කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන හෙතෙම වෛද්‍යවරියක හා විවාහ වී ඇත. දරුවන් තිදෙනකුගේ පියකු වේ.

පියාසර නිලධාරි පේෂාන් වර්ණසූරිය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ආදි සිසුවකි. ඔහු 2017 දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බැඳී ගුවන් යානා ඉංජිනේරුවරයකු ලෙස ගුවන් හමුදාවට එක් වූ නිලධාරියකි.