rahul-gandhi-lokh-sabha

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ලෝක් සභා මන්ත්‍රීවරයකු ලෙස ඉන්දීය පාර්ලිමේන්තුවට පසුගිය 07 දා නැවත වරක් පැමිණියේය. සාපරාධී අපහාස කිරීමේ නඩුවකට පසුගිය මාර්තු මාසයේ දී වරදකරු වී, වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙක් විය. 2013 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකට අනුව, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කුමන හෝ වරදකට වරදකරු වී වසර දෙකක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම වුවහොත් ඔහු ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙක් වෙයි.



පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු වීම හේතුවෙන් අභියාචන නඩු විභාගය අවසන් වන තෙක් තමන් වරදකරුවකු ලෙස නම් කිරීම  අත්හිටුවන ලෙස ඉල්ලමින් රාහුල් ගාන්ධි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට එම අවස්ථාවේ දී කටයුතු කළේය. එය පසුගියදා විභාගයට ගත් අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය රාහුල් ගාන්ධි මහතා වරදකරුවකු කිරීම අත්හිටු වීමට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය රාහුල් ගාන්ධි වරදකරුවකු කිරීම අත්හිටුවීමට නියෝග කිරීම හේතුවෙන් නැවතත් ලෝක් සභා මන්ත්‍රී ධුරය ලබා ගැනීමටත්, ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී තරග කිරීමටත් රාහුල් ගාන්ධිට අවස්ථාව හිමි විය.



රාහුල් ගාන්ධිට මන්ත්‍රී ධුරය නැවතත් හිමි වීම හේතුවෙන් පක්ෂ 26 කින් සැදුම්ලත් විපක්ෂ සන්ධානය තවත් ශක්තිමත් වන බවත්, එළැඹෙන මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමට විපක්ෂ සන්ධානය බලාපොරොත්තු වන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත. රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නැවත පැමිණීම කොංග්‍රස් නායකයෝ සටන් පාඨ කියමින් සහ රසකැවිලි බෙදා ගනිමින් සැමරීමට ද අමතක නොකළහ.රාහුල් ගාන්ධි වරදකරුවකු කිරීම අත්හිටුවීමට නියෝගය දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ ගුජරාත් අධිකරණය ප්‍රමාණවත් සාක්ෂි පදනමක් නොමැතිව සහ හේතු දැක්වීමක් නොකර රාහුල් ගාන්ධිට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දී තිබෙන බවයි. කෙසේ නමුත් කොංග්‍රස් නායකයා අදහස් දැක්වීමේ දී මීට වඩා සැලකිලිමත් විය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

 විමුක්ති එස්. රුද්‍රිගු