rajagiriya-incident

රාජගිරිය නගරයේ දී බස්නැවතුමින් පිට මාර්ගය හරස්වන අයුරින් බස් රථයක් නවතා මගීන් නංවාගත් රියැදුරුට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී වැලිකඩ පොලිසියේ රථවාහන අංශයේ  කොස්තාපල්වරයකුට මගීන් බලා සිටියදී පරුෂ වචනයෙන් බැණ වැදී මරණීය තර්ජනය කළ බව කියන බස් රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත්  සැකකරු ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.



මෙසේ රිමාන්ඩ්ට්රයට පත් කෙරුනේ මාර්ග අංක 176 හෙට්ටියාවත්ත - කරගම්පිටිය බස් රථයක රියැදුරු වශයෙන් කටයුතු කරමින් සිටි මහරගම, නීලම්මහර පදිංචි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ඉකුත් 31වැනිදා පස්වරුවේ රාජගිරිය නගරයේ පල්ලිය ආසන්නයේ බස් නැවතුම්ටෙපාළින් පිට බස් රථය මාර්ගය හරස් කර ඉස්සර කිරීමට නවතා වෙනත් බස් රථ වලට ඉස්සර කිරිමට  නොහැකි වන  පරිදි බස් රථයට මගීන් නංවා ගැනීම සිදුකර ඇති බවත්, එම  අවස්ථාවේ එම මාර්ගයේ වාහන තදබදයක් හටගෙන තිබූ බවත් පොලිසිය කියයි.

ඒ ආසන්න රථවාහන රාජකාරියේ නිරත කොස්තාපල්වරයකු එම ස්ථානයට පැමිණ ඔහුට අවවාද කර දඩ කොළයක් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු මගීන් බලා සිටියදීම කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කර ඇති බවද පොලිසිය පවසයි. එම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරමින් පවතියි. වීඩියෝ පටයට අනුව එම සංවාදය මෙසේය....



සැකකරු -දඩ ගහන්න බැරිනම් ඕන දෙයක් කරලා උසාවි දානවා මට කමක් නැහැ. හැබැයි පාරේ ඉන්න එපා.

පොලිස් කොස්තාපල්වරයා - එහෙමද

සැකකරු- මතක තියා ගනින් පාරේ ඉන්න එපා මම උඹව යට කරලා මරනවා

පොලිස් කොස්තාපල්වරයා - කිසිම අවුලක් නැහැ

සැකකරු - මට මට උඹ කවුරු වුණත් කමක් නැහැ.

කොස්තාපල්වරයා - ස්තූතියි.

සැකකරු - මතක තියා ගනින් මගේ නම දිල්ෂාන් හොඳට අහලා බලපං මං ගැන

පොලිස් කොස්තාපල්වරයා - අයියෝ කිසිම අවුලක් නැහැ.

සැකකරු - මට කවුරුත් නැහැ. මතක තියා ගනින් යුනිෆෝම් එකට සලකලා එකට ගරුකරලා යවන්නේ උඹව. නැතිනම් මම උස්සලා ගහනවා පොළොවේ උඹව.

පොලිස් කොස්තාපල්වරයා- අප්පට සිරි තැන්කිව් තැන්කිව්.

සැකකරු - පිරිස බලා සිටියදි පරුෂ වදන් රැසක් පවසමින් එම ස්ථානයෙන් පිටව ගියේය.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන් ද සිල්වා මහතා දැනුවත් කිරීමෙන් පසුව සැකකාර රියැදුරු පෙරේදා (1) පොලිස් ස්ථානයට කැඳවා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එම බස්රථයේ වරක හිමිකරු, වරක කොන්දොස්තර හා වරක රියදුරු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය  කියයි. පොලිස් නිලධාරියකුට සාපරාධි බලහත්කාරකම් පෑම, පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරිම, මරණීය තර්ජනය කිරිම, සාපරාධි බියගැන්වීම ආදී කරුණු යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.

ඉන්දිකා රාමනායක