rathmalkaduwa-story

රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුමක් ඇදුණේ යැයි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිරකර සිටියදී ගම්පොළ විශේෂ කාර්යබළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ ඔහු මුදාගෙන ඊට සම්බන්ධ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ පැහැරගෙන ගොස් සිරකර ඇත්තේ මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නමැත්තකු බව පොලිසිය කියයි. මොහු සිරකරගෙන සිටියේ යැයි පැවසෙන ලී මෝල් හිමියකු ඇතුළු සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටිනවා යැයි විශේෂ කාර්යය බළකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ. ඒ අනුව ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීහු ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා මුදාගැනීමට කටයුතු කළහ. දඹුල්ල ප්‍රදේශයේ සිටියදී ගම්පොළින් ගිය සිව් දෙනකු ඔහු පැහැරගෙන මෝටර් රථයක දමා ගෙනැවිත් ගම්පොළදී මෙසේ සිර කරගෙන සිට ඇති බවට හෙළිවී යැයි පොලිසිය කියයි. තමන්ට දරුණු ලෙස පහර දී මුදල් ඉල්ලා සිටි බවත් දිනුම් ලද මුදල් සඟවා ඇති තැන් අසා පහර දුන් බවත් ඔහු පවසයි.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා හා ප්‍රධාන සැකකරු අතර මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුලක් ඇති බවයි. ඒ සමගම මෙම පුද්ගලයා ඔවුන් සමග කැමැත්තෙන් සිට ඇති බවද පොලිසිය පවසයි.තමාට පහර දී ඔවුන් සමග කැමැත්තෙන් සිටින බවට ලියුමක් ලියා ගත් බවත් දිනුම් ඇදුණු මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් පුද්ගලයකුට ලබා දී ඇති බවද ඔහු සඳහන් කර සිටියි. ප

ොලිසිය මේ පිළිබඳ සොයා බැලීමේදී එම මුදල් ලබාගත් පුද්ගලයා ජපානයට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි. ජූලි 27 වැනිදා දඹුල්ලේ දී පැහැරගෙන රත්මල්කඩුව ප්‍රදේශයට රැගෙන ගොස් දින 6 ක් ප්‍රධාන සැකකරුගේ නිවසේත් ඉතිරි දින කිහිපය ඔහුගේ මස්සිනාගේ නිවසේත් මොහු තබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

කුරුණෑගල කෙනකු සමග තමා ගනුදෙනු සිදුකර ඇති බවත් ඔහුද මෙම ස්ථානයට පැමිණ රුපියල් කෝටි තුනක් ගත් බවට වැඩි මුදලක් දමා තමා ගෙන් ලියුමක් ගත් බවත් මෙම සැකකරුවන් ද ලක්ෂ 90ක් ගත් බවට තමාගෙන් ලියුම් ගත් බවත් ඔහු පැවසීය.

මොවුන් තමාට කෑම බීම දුන් බවත් පවසන මොහු කියා සිටින්නේ පටියකින් හා අතින් පයින් පහරදී තර්ජනය කර ලියුම් ලබාගැනීම හා පොලිසිය හා සී.අයි.ඩිය ඇතුළු විවිධ ස්ථානවලට තමා රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගත් බවත්ය.මෙම පැහැර ගැනීම පිළිබඳව ගැටලුසහගත තැන් රැසක් ඇති බව පවසන ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීහු ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් සඳහන් කරන අතර අත්අඩංගුවට ගත් සිවුදෙනා ඊයේ (6) අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළහ.
සුරංග රාජනායක