sachithra-senanayake-court

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියකදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා ඊයේ (14) නියෝගයක් නිකුත් කළේය. මෙම තහනම ලබන ඔක්තෝබර් මස 16 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, එය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළේය. ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් වූයේ, ග්‍රාමෝදය මාවත, කලල්ගොඩ, පන්නිපිටිය පදිංචි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සේනානායක මුදියන්සේලාගේ සචිත්‍ර මධුසංඛ සේනානායක මහතා වෙතය.



2019 අංක 24 දරන ක්‍රීඩා සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත ප්‍රකාරව ගොනු කරන ලද පළමු නඩු කෘත්‍යය මෙය බව මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. වර්ෂ 2020 දී හම්බන්තොට දී නිමාවට පත්වූ එල්. පී. එල්. තරගාවලියේදී තරිඳු රත්නායක සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් දෙදෙනාට විදේශයක සිට පුද්ගලයන් දෙදෙනකු වස්අප් මෘදුකාංගය මඟින් ඇමතුම් ලබා ගනිමින් එම තරගාවලියට අඩු හැකියාවකින් යුක්තව ක්‍රීඩා කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් සාක-ච්ඡා කිරීම සදහා කණ්ඩායමේ නායකයා සම්බන්ධ කර දෙන ලෙසත් දැනුම් දී තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඇමතුමෙන් පසු සචිත්‍ර සේනානායක යන අය තරිදු රත්නායක සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් දෙදෙනාට දුරකතනයෙන් කතා කරමින් ඉහත සඳහන් කළ විදේශිකයන් දෙදෙනා පිළිබඳව කිසිදු අයකුට අනාවරණය නොකරන ලෙසත් එම යෝජනාවට කැමැති වුවහොත් ඩොලර් 15,000ක බෝනස් මුදලක් ලැබෙන බවත් සඳහන් කර තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු සඳහන් කළේය.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉහත ක්‍රීඩකයන් දෙදෙනාම සුගතදාස ක්‍රීඩා සංකීර්ණය කොළඹ 14 හි ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයට අනුව මෙම දුරකතන ඇමතුම් විදේශයක සිට ලබාගෙන ඇති ඇමතුම් බවට තහවුරු කරගෙන ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, මොවුන් විදේශගතව සිට මෙම ක්‍රීඩාව සමග සූදු කෙළින අයවලුන් බවය.

සචිත්‍ර සේනානායක ක්‍රීඩකයා අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාට කතා කර එම ඇමතුම්වලට අදාළ සියලු තොරතුරු මකා දමන ලෙසට දැනුම් දී ඇති අතර මෙම තරග පාවාදීමේ ක්‍රියාව සඳහා එම ක්‍රීඩකයන් දෙදෙනා කැමැති වී නොමැති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරැදි විමර්ශන පොලිස් ඒකකය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව සචිත්‍ර සේනානායක යන අය සිද්ධියට අදාළව සැකකරුවකු ලෙසට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බවට ඉකුත් 09 වැනිදා නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවත් 2019 අංක 24 දරන ක්‍රීඩා සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම වරද සම්බන්ධයෙන් වසර 10ක සිර දඬුවමක් සහ මිලියන 100ක දඩයක් දඬුවම වශයෙන් නියමව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සචිත්‍ර සේනානායක යන අයගේ මූල්‍ය සහ බලය ඉහළ මට්ටමක පවතින බැවින් මෙරටින් පිටව යෑමේ හැකියාව ඇති බවත් ක්‍රීඩා සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත ප්‍රකාරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මෙම ක්‍රීඩකයා මේ වන විට ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩකයකු ද යන්නය.

එහිදී පැමිණිල්ල සඳහන් කර සිටියේ මෙම ක්‍රීඩකයාට එරෙහිව මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාව මඟින් තරග තහනමක් පනවා ඇති බවය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සචිත්‍ර දිසානායක යන අයගේ විදෙස් ගමන් ලබන ඔක්තෝබර් මස 16 වැනිදා තෙක් තහනම් කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

මේ  අතර, හම්බන්තොට දී නිමාවට පත්වූ එල්. පී. එල්. තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේ ඉකුත් 2020 මාර්තු මස දෙවැනිදාය. හම්බන්තොටදී නිමාවට පත්වූ එල් පී එල් තරගාවලියේදී වාර්තා වූ තරග පාවාදීමේ සිදුවීමකට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කොළඹ මසේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2021 දෙසැම්බර් මාසයේදීය.


නිමන්ති රණසිංහ