school-teachers-shortage

පාසල් පද්ධතිය තුළ 45,000ක ගුරු හිඟයක් තිබියදී එම ගුරු පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය බරපතළ ලෙස කඩාවැටීමේ අවදානමක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා පවසයි.

මහනුවරදී පෙරේදා (22දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, 2018 සහ 2019 වසරවල උසස් පෙළ විභාගයට පෙනීසිට ගුරු විද්‍යාලවලට ඇතුළුවීමේ අපේක්‍ෂාවෙන් සිටි සිසුන් වසර 05කට ආසන්න කාලයක් තිස්සේ නිවෙස්වලට වී සිටින බවයි.



පසුගිය කෝවිඩ් සමයේදී ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගුරු විද්‍යාපීඨ රැසක් යොදාගත් බවත්, ඒවාහි මෙට්ට කොට්ට ඇතුළු භාණ්ඩ භාවිතයෙන් පසු විනාශ කිරීම හේතුවෙන් ඒවාහි භෞතික සම්පත් රැසක් මේ වනවිට අහිමිව තිබෙන බවද ගජධීර මහතා පැවසීය.

ගුරු අධ්‍යාපනඥයන් ලෙස සේවයට එක් වන්නේ, ගුරු සේවයෙත් විදුහල්පති සේවයෙත් ගුරු උපදේශක සේවයෙත් කටයුතු කිරීමෙන් පසුව බවත්, එසේ නමුත් මේ වනවිට ගුරු අධ්‍යාපනඥයන්ට ගෙවන වැටුප ගුරුවරුන්ටත් වඩා පහළ මට්ටමක තිබෙන බවත් පැවසූ ඒ මහතා, මෙම වැරැද්ද නිවැරදි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකළහොත් ගුරු විද්‍යාලවල අධ්‍යාපනය ලබන දෙවැනි වසරේ සිසුන්ට අධ්‍යාපනය ලබාදීමේ කටයුතුවලින් ඉවත් වන්නේ යැයිද පැවසීය.



ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා පුද්ගලයන් එක් වේලකට වියදම් කරන මුදලින් ගුරු සිසුන්ට මාසයක් ආහාර ගැනීමට සිදුව තිබෙන බවත්, ඒ හේතුවෙන් ගුරු සිසුන්ට කෑම කනවා වෙනුවට ලෙව කෑමට සිදුව තිබෙන බවත් ගජධීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සංගමයේ විධායක සභික හිරෝෂන් වාසලමුදලි සහ භාණ්ඩාගාරික රංජිත් පල්ලේවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ෂේන් සෙනෙවිරත්න