පසුගියදා විවාහ දිවියට පිවිසි ජනප්‍රිය නිළි ශලනි තාරකා ගේ මව නිර්මා මහත්මිය ඇයගේ විවාහයෙන් අනතුරුව සතිඅන්ත පුවත්පතක් වෙත සිය අදහස් දක්වා තිබුනේ පහත පරිදිය.
ජීවිතේ සුවිශේෂි අවස්ථාවක්. දෙවෙනි දුව ඔබේ කැදැල්ලෙන් ඉඟිලිලා යද්දි අම්මෙක් විදිහට කෙහොමද ඒ අවස්ථාව දැණුනේ?
එයා මනාලියක් වෙලා දකිද්දි මට ඇති වුන සතුට වචනයෙන් කියන්න තේරෙන්නේ නැහැ. ශලනිගේ සතුට තමයි මගෙත් තාත්තගෙත් එකම සතුට වුනේ. තුරුලේ තියන් හදලා කුඩුවෙන් ඉගිලිලා යද්දි දුකක් දැනුනත්...ඒක සතුටත් එක්ක ආපු දෙයක්. දුවෙක් ඉතින් කවදා හරි කුඩුවෙන් ඉගිලිලා යන්න ඕන නේ. මට දරුවෝ තුන්දෙනයි.
ශලනි තමයි පවුලේ දෙවෙනියා.ශලනිගේ අයියායි,නංගියි විවාහ වෙලා ඉන්නේ..
ඔබත් එක්තරා කාලයක කලාව හැඩ කල කලාකාරිනියක්.අම්මාගේ අඩිපාරේ ගියේ ශලනි විතරද?
අනිත් දෙන්නාටම වැඩිය මං වගේ හැඩ රුව පිහිටලා තියෙන්නේ ශලනි දුවට තමයි.අනිත් දෙන්නාම තාත්තා වගේ. රංගනය පැත්තෙනුත් මගේ අඩි පාරේ ගියේ ශලනි තමයි. ශලනි පුංචි කාලේ ඉඳලාම හැමදේකටම හරිම දක්ෂයි.හැබැයි ශලනි රංගනයෙන් මේ වගේ තත්වයකට ඒවි කියලා කවදාවත් හිතුවේ නැහැ. ලොකු පුතාටයි,චූටි දුවටයි වැඩිය ශලනිගේ කලාව පැත්තෙන් විශේෂ වූ දක්ෂතා ටිකක් තිබුනා. සිරස කුමරිය කිරුළ එක්ක ලැබුන වරප්‍රසාදය තමයි එයා මහන්සියෙන් වැඩිදියුණු කරගෙන අද වෙනකම් ලස්සන ගමනක් ආවේ
ශලනිව නිළියක් කරන එක අම්මාට තිබුන හීනයක්ද?
ශලනි සාමාන්‍ය පෙළ කරල ගෙදර ඉන්න කාලේ තමයි සිරස කුමරිය තරඟයේ දැන්වීමක් දැකලා ඒ තරඟයට අයදුම් කලේ. දුව එහෙම දේවල් වලට ලොකුවට යන්න ආස වුන කෙනෙකුත් නෙමෙයි.මුල් තැන දුන්නේ පාසල් වැඩ වලටම තමයි. ප්‍රතිපල එනකම් ගෙදර හිටපු කාලේ මගෙන් ඇහුවා අම්මේ මං සිරස කුමරිය තරඟයට යන්නද කියලා. මම ඉතින් මගේ කැමැත්ත දීලා එයාගේ ආසාවට ඉඩ දුන්නා. තරඟයට ගිය දා ඉඳලා මම එයාව ඒ ඒ තැන් වලට අරන් ගියා. ශලනි ජිවිතේ ජයගන්න ඕන තැන් වෙනකම්ම ආවේ ඇත්තටම එයාගේ දක්ෂතා වලින් සහ එයාගේ මහන්සියෙන්.
අම්මෙක් විදිහට ඇය ගැන ඔබ වැඩියෙන්ම සතුටු වුන දවස කවදද?
මට ඉස්සර වෙලාම ලැබුනේ පුතෙක්.මම පුතෙක්වම බලාගෙන හිටියා.ඊට පස්සේ රෝස මලක් වගේ ලස්සනම ලස්සන දුවෙක් ව බලාපොරොත්තු වුනා. ඒ වගේම එදා ඉස්පිරිතාලෙදි මට ලස්සනම ලස්සන රෝස මලක් අතට දුන්නා.එදා මට දැනුනේ මුළු ලෝකයම ලැබුනා වගේ. ශලනි දුව ඒ තරම් ලස්සනයි. එදා මම හිතාගත්තා කවදාහරි මම මේ රෝස මලව කවදා හරි රැජිනක් කරනවා කියලා. මගේ ජීවිතේ සමහර යම් යම් දේවල් අහිමි වුණ තැන් තිබුනා. ඒත් එයාගේ ජීවිතේ කවදාවත් අඩුපාඩුවක් නැතුව ඉදිරියට ගෙනියන්න ඕන වටපිටාව මාර්ගය හදන්න ඕන කියන තැන මම හිටියා.මම රඟපාන්න අවේ 2000,2001 වගේ කාලෙදි.එතකොට ශලනි ගොඩක් පොඩියි. නමුත් මට රංගනයේ ලොකු කාලයක් රැදෙන්න අවස්ථාව ලැබුනේ නැහැ.
නමුත් කවදා හරි ශලනි දුව රංගනයට එන්න කැමති නම් එයාව ඒ තැනට පස්සේන් ඉඳන් ගෙනියන්න ඕන කියන දේ මගේ හිතේ තදින්ම තිබුනා. ඇත්තටම මම චූටි දුවට වැඩිය වැඩි කාලයක් දුන්නේ ශලනිට. ශලනි මුලින් රඟපාන්න අකමැති වුනත් පස්සේ එයාගේ දක්ෂතාවය එයාම තේරුම් ගත්තා. එයාගේ ගමන පටන් ගැන්මේදීම මම මගේ ගමන නවත්තලා ශලනි ක්ෂේත්රයට හුරු වෙනකම්ම මම එයාගේ පිටිපස්සෙන්ම හිටියා.
ඇයගේ විවාහය ප්රේමසබදතාවක්ද? යෝජනාවක්ද?
මගේ යාළුවෙක් තමයි නිහත පුතා ගැන මුලින්ම කිව්වේ.ඇත්තටම මේක විවාහ යෝජනාවක්. ශලනිට ආපු විවාහ යෝජනා එකකටවත් එයා කැමති වුනේ ම නැහැ.මම යොජනාවක් ගෙනාවොත් මාත් එක්ක හරියට තර්ක කළා.අඩුම තරමේ ගේන යෝජනා වල ෆොටෝ එකක්වත් බලන්න ශලනි කැමති වුනේ නැහැ. ශලනි හිටියෙම එයා විවාහ වෙන්නේ නැහැ බලකරන්න එපා කියන මතයේමයි. මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ කරදර කරන්න එපා කියලා ශලනි. මාත් එක්ක හරියට රණ්ඩු කළා. විවාහ වෙන්නේ නැ කියන තීරණේ දුව තදින්ම හිටියා.යෝජනා ගේනවට හරිම තරහයි. අම්මෙක් විදිහට මට එයාව තනිවෙන්න දෙන්න බැහැනේ..
බැනුම් අහ අහ මමත් යෝජනා ගෙනාවා. අනේ ඉතින් මෙයාගේ මේ සමහර දැඩි තීරණ නිසා මටත් සමහර වෙලාවට බය හිතුනා. අනිත් අම්මලා වගේම මටත් ශලනි මනාලියක් වෙනවා දකින්න ලොකු හීනයක් තිබුනා. නිහත පුතාගේ යෝජනාව ආවම මම කියන්න ගියොත් මාත් එක්ක වාද කරන නිසා. මම චූටි දුවට කිව්වා අනේ පුතේ අක්කිට මේ ෆොටෝ එක පෙන්නලා කැමතිද අහන්න කියලා.
නිහත පුතාගේ ෆොටෝ එක දැකපු ගමන් ශලනිදුව කියලා තිබුනා එයාගෙ හිතේ මැවිලා තිබුනා නම් රෑපයක් ඒ මේ වගේ රුවක් එයා කැමතියි කියලා. අම්මෝ එදා මගේ හිතට දැනුනේ ලොකු සැනසිමක්. ගේන හැම යෝජනාවකටම බෑ බෑ කියපු ශලනි නිහතගේ ෆොටෝ එක දැකපු ගමන් කැමති වුනා. නිහත පුතා පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ.කවදා හරි ශලනිත් කලාවෙන් ඉවත් වෙලා එයාගේ කුඩුව හදාගෙන කැනඩාවට යා යුතුයි. විවාහ උත්සවයේ උත්සව 5ක් තිබුනා. ගොඩක් දෙනා මහන්සි වුනා දුවව ලස්සන කරපු තැන ඉදලා උදව් කරපු ඒ හැමකෙනෙටම මම ස්තුති කරනවා.
මෙතනින් පසෙත් මීට වැඩිය ලොකු වගකීමක් එක්ක එයාට තියෙනවා දිගු ගමනක් යන්න. මම දන්නවා ඒ ශක්තියත් ඇයට තියෙනවා. ශලනි දුව එයාගේ යාළුවන්ගේ,සහොදර සහෝදරියන්ගේ,මගේ තාත්තාගේ වගකීම් දැරුවේ හරියට අම්මෙක් වගේ.නිහත පුතාවත් අම්මෙක් වගේ ඇය බලාගනීවි.ඇත්තම කියනවනම් ගෙදර අයට එයා දුවෙක් නෙමෙයි අම්මා කෙනෙක්.
පහුගිය කාලේ ශලනිට චෝදනා ගොඩාක් එල්ල වුණා.?
මගේ දුව නිසා කියනවා නෙමෙයි හැබැයි ශලනිව දන්න අය දන්නවා එයා හරි නීතිගරුක දරුවෙක්. හැදුන හැම ගොසිප් එකකින්ම දුව තව තවත් ශක්තිමත් වුනා ඇරෙන්න වැටුනේ නැහැ.ශලනි එයාට ආපු හැම චෝදනාවකදිම ශක්තිමත්ව ආයෙම නැගිට්ටා. දුව හැමදාම ජීවත් වුනේ එයාගේ හෘද සාක්ෂිය එක්ක. මොනවා වුනත් ශලනි කියන්නේ හරිම වාසනාවන්ත දරුවෙක්.
සාකච්ඡාව- නදීශා අතුකෝරළ
0 Comments