දකුණු පළාතට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ අර්බුදය පිටුපස ලෝක බැංකුව සමග සබඳතා පවත්වන කාන්තාවක සිටින බව ජනාධිපති කාර්යාලයට භාරදුන් රහස්‍ය වාර්තාවක සඳහන් වී තිබේ.

දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලිය දීමට ප්‍රමාද ඇයි දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයාගේ නියෝග පරිදි කළ විමර්ශනයේදී අදාළ තොරතුර වාර්තා වී ඇත.

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් හේතුවෙන් සමස්ත දකුණු පළාතටම ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලි බලය ලබා දීමට නොහැකි වීමේ අර්බුදයක් උද්ගත වී තිබේ.



දකුණු පලාතද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220ක ධාරිතාවක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජනා වී ඇත.

ඒ අනුව ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුවද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදුවීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් හේතුවෙන් බව හෙළිදරව් වී තිබේ. එම වත්තේ හිමිකරු විසින් අදාළ ඉඩම උඩින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් හේතුවෙන් මෙම ගැටලුව මතු වී ඇත.



එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා එම මුදල සංශෝධනය කරමින් මේ වන විට රුපියල් මිලියන9.6ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කර, ගැටලුව විසඳීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාළ කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

දකුණු පළාත ප්‍රමුඛ දිස්ත්‍රික්ක පහකට විදුලිය සපයනු ලබන්නේ සමනල වැව ජලාශයෙන් උත්පාදනය කරන ජල විදුලියෙනි. යම් හෙයකින් සමනල වැව සිඳී ගියහොත් පැය ගණනාවක් දකුණු පළාතට විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩල නිලධාරීන් රජයට දැනුම් දී ඇත.
-නවෝද්‍යා පවනි.