susil-speaks

විශ්‍රාම ගිය ගුරුවරුන් පළාත් සභා පාසල් සඳහා බඳවා ගැනීමට පළාත් සභාවලට ඉදිරි දෙසතියේ දී බලය දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී 24 දා පැවසීය.පාසල්වල ගුරු පුරප්පාඩු 32,000ක්පවතින බවද ඔහු කීවේය. මේ අතර අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් පාසල්වලට විදුහල්පතිවරුන් බඳවා ගැනීම ඇණහිට ඇතැයිද

මෙයින් දරුවන් අපහසුතාවට පත්වන බව එවැනි නියෝග ලබා ගැනීමට පෙත්සම් දාන අයට නොතේරෙන්නේ මන්දැයි  ප්‍රශ්න කරන්නේ යැයිද ඔහු පැවසුවේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අතුරු තහනම් නියෝගවලට කාලයක් තියෙන්න ඕනෑ. ඒ සඳහා සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ සංශෝධනයක් ඇති කළ යුතුයි. සංශෝධනයක් ගේන්න කියලා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපි එය සම්මත කරල දෙනවා. මාස හයක් අතුරු නියෝගයක් දෙනවා. විදුහල්පතිවරුන් පත් කරන්න බැහැ. මේ වගේ දේවල් නිසා අසාධාරණයට පත් වන්නේ දරුවන්. මේවා දාන පෙත්සම්කරුවන්ට මේක තේරෙන්නේ නැද්ද. මේක ඉඩම් නඩුවක් නෙමෙයි.

අතුරු තහනම් නියෝගයක් කියන්නේ ඒ වගේ දෙයක් නොවෙයි. අතුරු තහනම් නියෝගය සදාකාලික නියෝගයක් වෙන්න බැහැ. විශ්‍රාම ගුරුවරුන් බඳවා ගන්න මීළඟ සති දෙක තුළ පළාත් සභාවලට බලය දෙනවා.ගුරු පුරප්පාඩු 32,000 ක් තියෙනවා. නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශවලට යෙදවීම නිසා ඒ අංශය පිරිහීමට ලක්වෙලා තියෙනවා.



අධිකරණ අමාත්‍යවරයා අතුරු නියෝගයක වලංගු කාලසීමාව තීරණය කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරනවා නම් ඉතා හොඳයි. මෙසේ  මම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටීමට හේතුව වන්නේ, ඇතැම් පිරිස් අතුරු නියෝග දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට උත්සාහ කරන නිසයි. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට එරෙහි නඩු,  ඉඩම් නඩු මෙන් නොවන බැවින් ළමා අධ්‍යාපන අයිතිය කඩවීමේ බරපතළකම මෙම නඩුව ගොනු කළ පෙත්සම්කරුවන්ට නොවැටහීම කනගාටුවට කරුණක් බවද හෙතෙම පැවසීය.

ගුරු පුරප්පාඩු 32,000ක් පවතින බවත් මීට වසර 3කට පෙර සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී කිසිදු විනිවිදභාවයකින් තොරව පාසල්වලට 22,000ක් බඳවා ගත් බවත් ,  නිසි ක්‍රමවේදයක් නොමැතිව එම බඳවා ගැනීම් සිදු කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය..කෙසේ වෙතත් විධිමත් පුහුණුවකින් පසු මෙම පිරිසට නිසි ගුරු අධ්‍යාපනයක් ලබාදීමට පියවර ගත් අවස්ථාවේදී පිරිසක් අධිකරණයට ගොස් නඩු පවරා ඇත.  එහෙයින් දරුවන්ට මෙය අහිමි කර ඇති බවත් මාස 6කට එම පත්කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබාදී ඇති බවත් ඇතැම් පිරිස් එම අතුරු නියෝග දින නියමයක් නොමැතිව දික්කිරීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය.

විශ්‍රාම ගොස් සේවය හැර ගිය ගුරුවරුන් වෙනුවට උපාධිධාරීන් පත් කිරීමට ඉදිරි සති දෙක ඇතුළත පළාත් සභාවලට බලය ලබා දෙන බවද , ගුරු සේවා රෙගුලාසිවලට අනුව අධිකාරී බලය පළාත් සභා වෙත පැවරෙන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නුදුරේදීම ලබා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.


මධ්‍යම පළාතට විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් 700ක් බඳවා ගැනීමට ගැසට් කර ඇති බවත් කුමන බාධා පැමිණියද දරුවන්ට ප්‍රමාණවත් ගුරුවරුන් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය.



උදාහරණයක් ලෙස පුරාවිද්‍යා උපාධියක් ඇති අයෙකු පාසලක ප්‍රාථමික අංශයට පැවරීමෙන් ප්‍රාථමික අංශයේ අධ්‍යාපන ක්‍රියාකාරකම් කඩා වැටෙන බවත්, කොවිඩ් බලපෑම පමණක් නොව මෙම අවිධිමත් ගුරු අනුබද්ධය ද පාසල්වල විධිමත් අධ්‍යාපනය කඩාකප්පල් වීමට බලපා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය පෙළ සියයට 90 ක් සමත් වීමට අපොහොසත් වන පාසල්වල විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වැඩිවීම් වහාම අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම අත්හිටුවන බව ද ඇමැතිවරයා කීය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට එම පළාතට අදාළ පරිපාලන කටයුතු සිදු කළ හැකි නමුත් එවැනි තීරණ ගත නොහැකි බවත් , තමන් සෑම මසකම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ Zoom රැස්වීම් මගින් සාකච්ඡා කරන බවත් එවැනි කරුණු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමකින් තොරව චක්‍රලේඛ නිකුත් නොකළ යුතු බවට දැනුම් දීමක් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, අධිකරණයෙන් ලබා දෙන අතුරු නියෝග පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍ය නම් ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගත හැකි බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අතුරු නියෝගවලට අදාළව සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ ඉල්ලීමකට පසුවය.