tangalle-skiper-murder

තංගල්ල, කුඩාවැල්ලේ, බෝකොටුව ප්‍රදේශයේදී ඉකුත් 15 වැනිදා රාත්‍රියේ බහුදින යාත්‍රා ස්කීපර්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සිටින දිල්ෂාන් නමැත්තකු ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බවට විශේෂ කාර්ය බළකාය තොරතුරු හෙළිකරගෙන ඇත. තංගල්ල ඝාතන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඩුබායි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දිල්ෂාන් නමැත්තාගේ ගෝලයකු අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේදී විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කලාපයේ) භට කණ්ඩායමක් විසින් ඉකුත් 15 වැනිදා රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය කර ගත් බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය. සැකකරු කළුතර, පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි. එම සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත.



තංගල්ල ඝාතනය, ඩුබායි සිටින දිල්ෂාන් නමැත්තා කළුතර සැකකරු දුන් කොන්ත්‍රාත්තුවකට අනුව සිදුව ඇතැයි ද එම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු හා යතුරුපැදිකරු වෑන් රථයකින් දික්වැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි. සිද්ධියේ වෙඩික්කරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයට නංවාගෙන ඇති අතර, යතුරුපැදිකරු දික්වැල්ල ප්‍රදේශයේදී වෑන් රථයට නංවාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි. තංගල්ලේ බහුදින යාත්‍රා ස්කීපර්ට වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු, වෙඩික්කරු හා පැදිකරු වෑන් රථයට නංවාගෙන රන්න ප්‍රදේශයට රැගෙන ගොස් කතරගම සිට කොළඹ බලා ආ බස්රථයක නංවා ඇති බවද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ නාකුළුගමුව දකුණු කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි දෙදරු පියකු වූ එල්. බී. නිමේෂ් රංග නමැති අයකු බව පොලිසිය සඳහන් කරයි.

මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය කියයි.  මේ අතර දික්වැල්ල, වලස්ගල, බෝදරකන්දවත්ත ප්‍රදේශයේදී සංජීව  පුෂ්පකුමාර (46) හෙවත් මොරටු සංජීව නමැත්තාට ඉකුත් 15 වැනිදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවිය දික්වැල්ල, උඬගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (16) සොයාගනු ලැබ ඇත.

මෙම ගිනි අවිය සම්බන්ධයෙන් හා සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට සේනාංකයේ ප්‍රාදේශීය අණදෙන නිලධාරි, සහකාර පොලිස් අධිකාරි සම්පත් කුමාර මහතාට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඌරුගමුව ප්‍රදේශයට ගොස් ගිනි අවිය සොයාගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය සහ මැගසිනය ගෝනියක දමා කැළයේ සඟවා තිබී ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ගිනි අවිය සඟවා තිබූ ස්ථානය ආසන්නයේ අපරාධ රැසකට සම්බන්ධ බව කියන යුදහමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සෙබළකු පදිංචිව සිට ඇති අතර, සිද්ධියෙන් පසු ඔහු සහ ඔහුගේ සොහොයුරා නිවසින් අතුරුදන්ව ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි. තංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තංගල්ල පොලිසියටත්, දික්වැල්ල වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය දික්වැල්ල පොලිසියටත් බාරදී ඇත.

 ඉන්දිකා රාමනායක