thalawakele-incident

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදුමුදුණේ තිබී සොයාගත් කාන්තා මළසිරුර කදුමුදුනේ සිට පහළට රැගෙන එමින් සිටි යුදහමුදා කෝප්‍රල්වරයකු හදිසියේ රෝගාතුර වී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ලිදුල පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් කේ.එන්.එස්. කේ. හේරත් (36) නමැති නිලධාරියෙකි. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාන්තා මළ සිරුර රැගෙන ඒම සඳහා පොලිස් නිලධාරීන්, යුදහමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රක්ෂිතයට පිවිසෙන අවස්ථාවේ යුද හමුදා කෝප්‍රල්වරයා පසුපසින් ගමන් ගත් බවත්,

පසුව ඊට පසුපසින් පැමිණි දෙදෙනකු යුදහමුදා නිලධාරියකු රක්ෂිතයේ වැටී සිටින බව කළ දැනුම්දීමක් මත යුදහමුදා භට පිරිස් වහාම ක්‍රියාත්මක වී කෝප්‍රල්වරයා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් ඒ  වන විටත් කෝප්‍රල්වරයා ජීවිතක්ෂයට පත් වී සිටි බවත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටියේ කඳවුරු බැඳීමට පෙරේදා (01) ගිය පිරිසක් එහි ප්‍රපාතයේ කාන්තා මළ සිරුරක් දැක තලවකැලේ පොලිසියට කළ දැනුම් දීමක් මත පොලිසිය එම සිරුර සොයා ගත්තේය. මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් පසුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ජේ. අඹගහවත්ත මහතා ලිඳුල පොලිසියට ඊයේ (2) නියෝග කළේය.

මළසිරුර තිබූ ස්ථානයට ගිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය වීරසේකර මහතාගේ අධික්ෂණය යටතේ නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරීන් ලිඳුල පොලිසියේ නිලධාරීන් සහ යුදහමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහායෙන් මළසිරුර රැගෙන එනු ලැබීය.

මෙම කාන්තා මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, කිසියම් පිරිසක් සමග හෝ පුද්ගලයකු සමග පැමිණි මෙම කාන්තාව කිසියම් හේතුවකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඇය සමග පැමිණි පිරිස හෝ පුද්ගලයා පොලිසියට ඒ පිළිබඳව වාර්තා නොකර යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මේ අතර කිසිදු අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කඳවුරු බැඳීමට ඉඩ නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට ඊයේ (02) උපදෙස් දී ඇත. ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය නැරඹීමට හෝ කඳු මුදුණේ කඳවුරු බැඳීමට යෑමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.
 රංජිත් රාජපක්ෂ