train-development

දුම්රිය මාර්ග නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැති වීම හා පුහුණු සේවක හිඟය නිසා සියලුම් මාර්ගවල දුම්රිය ධාවන වේගය සීමා කර ධාවනය කිරීමට සිදුව තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



දුම්රිය ධාවන වේගය දැඩි ලෙස සීමා කිරීමට සිදුව තිබෙන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බවත්, මෙම මාර්ග පැයට කිලෝමිටර් 100ක වේගයෙන් ධාවනය කිරීමට සකස් කර තිබුණද, මේ වන විට ධාවන වේගය පැයට කිලෝමීටර් 50- 60 අතර ප්‍රමාණයක් බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්. පී.විතානගේ මහතා සඳහන් කළේය.



උතුරු දුම්රිය මාර්ගයේ කොටසක පැයට කිලෝමීටර් 50 - 60 ත් අතර වේගයකින් ධාවනය කිරීමට හැකි වී තිබුණත්, අදාළ කොටසේ පවතින සංඥාවල දෝෂ නිසා නියමිත වේගයෙන් ධාවන කටයුතු සිදුකළ නොහැකි වී තිබෙන බවද හෙතෙම පැවසීය.

මිට අමතරව පුහුණු සේවකයන් 6000කට අධික ප්‍රමාණයක් පුරප්පාඩු පවතී.මෙම පුරප්පාඩු සම්පුර්ණ නොකිරීම නිසා දෛනිකව සැලකිය යුතු දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් අවංගු කිරීමට සිදුවේ. නියමිත වේගයෙන් දුම්රිය ධාවනය නොකිරීමට අමතරව ප්‍රමාදවී ධාවනය කිරීම නිසා හා ක්ෂණිකව ගමන් වාර අවලංගු වීම නිසා දුම්රිය මගීන් හා සංචාරකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවද එස්.ජී.විතානගේ මහතා පැවසීය.



අබලන් තත්ත්වයේ තිබෙන මාර්ගවල නියමිත වේග සීමා යටතේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ හොත් පීලි පැනීම්වලට ලක්වන බවද, මේ නිසා වේගය සීමා කර ධාවනය කිරීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

-  ඉන්දික හේවාවිතාරණ