කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකතනය පැහැර ගැනීමට තැත්කළ බව කියන දෙදෙනෙක් නාවලපිටිය පොලිසිය විසින් 6 දා අත්අඩංගුවට ගනු ලැබූහ. තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි. මෙරට සංචාරයක් සඳහා පැමිණි ලියු කුයින් නමැති චීන ජාතික කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සමග උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය බලා යමින් සිටියදී සිය ජංගම දුරකතනයෙන් සුන්දර ස්ථාන වීඩියෝගත කරමින් සිට ඇති අතර, නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථානයට ළඟා වනවාත් සමගම දුම්රිය මාර්ගය අයිනේ රැඳී සිටි තරුණයන් තිදෙනකුගෙන් එක් අයකු ඇයගේ ජංගම දුරකතනය ගැනීමට පොල්ලකින් ඇයගේ අතට ගසා ඇත.



එම තරුණයා පහරදෙන දර්ශන ඇයගේ දුරකතනයේ පටිගත වී ඇති අතර, පහරදීම නිසා ඇයගේ අතටද තුවාල සිදු වී ඇත. පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන්  ඇයගේ මාර්ගෝපදේශකයාට දැනුම් දීමෙන් පසු, ඇය චීන භාෂාවෙන් සිය පැමිණිල්ල සටහන් කර එය සිංහල භාෂාවටද පරිවර්තනය කර whatsapp ඔස්සේ නාවලපිටිය පොලිසියට යවා ඇත.ඒ සමගම ඇය සිය ජංගම දුරකතනයේ පටිගත වූ දර්ශනද පොලිසියට යවා ඇත. අනතුරුව වහා ක්‍රියාත්මක වූ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා ඇතුළු පොලිස් නිලධාරීන් නාවලපිටිය, ඉඟුරුඔය ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා  කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය, ඉඟුරුඔය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22 ත් 24 ත් අතර වයසේ අය බවත්, සැකකරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප මත මුදා හැර සිටින පිරිසක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු චීන ජාතික කාන්තාව නාවලපිටිය පොලිසියට වට්ස්ඇප් පණිවිඩයක් එවා ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

"මම සහ මගේ පවුලේ අය ලංකාවට ඉතාම කැමතියි. මේ රට සහ මිනිසුන්, සෑම සිනහමුසු මුහුණක්ම, සෑම සුළඟක්ම අපව ස්පර්ශ කරයි. ඉඳහිට සිදුවන මෙවැනි නරක සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හිතේ පවතින යහපත් හැඟීමට බලපෑමක් ඇති වීමට මම ඉඩ තබන්නේ නැත.

මේ සිද්ධිය නිරාකරණය වී ශ්‍රී ලංකාව තවත් ඉදිරියට ගොස් වඩා හොඳින් දියුණුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකල් පවතින ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය