udayanga-free-to-foreign-tours

මිග් යානා ගනුදෙනුවට අදාළව ඇප මත මුදා සිටින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතාට විදේශගත වීම සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිදු කළ ඉල්ලීම්ට කොටුව මහේස්ත්‍රාක් කිළිණ ගමගේ මහතා ඊයේ (23)අවසර ලබා දුන්නේය.



සංචාරක ප්‍රවර්ධන සඳහා සේවා දායකයා සිදු කරන සේවාව සහ ඔහු රුසියානු සංචාරකයන් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරමින් ජනාධිපති නීතිඥ වරයා සිදු කළ ඉල්ලීමට මෙලෙස අවසර ලැබිණ.

ඊළඟ නඩු දිනය වන නොවැම්බර් 22 දින දක්වා විදේශගත වීමට සැකකරුට අවසර ලැබිණි. රුසියාවේ ප්‍රශ්න ගත බෙලරුසා සමාගමට රතු නිවේදන ගණනාවක් නිකුත් කළ ද ඒ සදහා ප්‍රතිචාර නොමැති බවට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ලිඛිත දේශන ගොනු කරමින් එම රතු නිවේදන ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා කරුණු විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.



මෙම නඩුව සඳහා වසර තුනක පමණ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් වී නැතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා විවෘත අධිකරණයේ පෙනී සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන නොවැම්බර් මස 22 යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.