උගන්ඩා ජාතික කාන්තාවක රුපියල් ලක්ෂ 35 ක් ලබාගෙන කූඨ ලෙස සකස් කර දුන් ප්‍රංශ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගනු ලැබීය. විසිහතර හැවිරිදි එම තරුණයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. ඔහු කොළඹ කැසිනෝ සමාජ ශාලාවක සේවය කරමින් සිට මීට මාස දෙකකට පෙර උගන්ඩාව වෙත ගොස් ඇත්තේද එරට කැසිනෝ සමාජ ශාලාවක රැකියාව සඳහා බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
එහිදී දැන හැඳිනගත් උගන්ඩා ජාතික කාන්තාවක ඔහුට ප්‍රංශය වෙත යෑම සඳහා වීසා බලපත්‍රයක් සකස් කර දීමට ඉදිරිපත් වී ඇත.
ඒ අනුව මාතර ප්‍රදේශයේ ඔහුගේ දෙමාපියන් සතු ඉඩමක්, මව සතු ස්වර්ණාභරණ සහ ඔහුගේ යතුරුපැදිය ද විකුණා, මෙම වීසා බලපත්‍රය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඇමෙරිකා ඩොලර් 3,000 ක මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක් ඔහු මෙම උගන්ඩා ජාතික කාන්තාව වෙත ලබා දී ඇතැයි පොලිසිය කියයි. ඇය මෙම තරුණයා උගන්ඩාවේ අසල්වැසි රාජ්‍යයක් වන කෙන්යාව වෙත රැගෙන ගොස් මෙම වීසා බලපත්‍රය ලබා දී ඇත.
මෙම වීසා බලපත්‍රය රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි තරුණයා, ඩුබායි ඔස්සේ ප්‍රංශයට යාමට කටුනායක ගුවන් තොටු පොළට පෙරේදා පැමිණ ඇත. එහිදී එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් ගුවන් යානා නිශ්කාශන කටයුතු කිරීමේ දී ඇති වූ සැකය මත මෙම තරුණයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට බාරදී ඇත. එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී මෙම ප්‍රංශ වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව තහවුරු වීමත් සමගම ආගමන විගමන නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගෙන ලියකියවිලි සමග කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දී ඇත.
ටී.කේ.පී. කපිල
0 Comments