umara-national-anthem

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ පෙර පුහුණුවීම්වලදී ද ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීයේ ‘මාතා’ වචනය වෙනුවට ‘මහතා’ යනුවෙන් ගායනා කළේදැයි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුව තීරණය කර ඇත.

ජාතික ගීයට අපහාස වන පරිදි උමාරා සිංහවංශ ගායිකාව විසින් ගායනා කළේදැයි සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ කමිටුවක් පෙරේදා (31 වැනිදා) පත්කරන ලදී. එම අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරියෙක් සහ සහකාර ලේකම්වරයෙක් මෙම කමිටු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

එම කමිටුව විසින් අද (01 වැනිදා) අදාළ තනුව පිළිබඳව සොයා බැලීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ සහාය ද ලබා ගැනීමට නියමිතය.



ජාතික ගීය, තනුව සහ එහි පද මාලාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදු කිරීමට සැලසුම් කර තිබේ. එම උත්සවයේදී ජාතික ගීයට අදාළ සංගීතය වෙනස් කළේදැයි යන්න ද කමිටුව විසින් සොයා බලනු ඇත.

ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන්ද මෙම ගායනය සම්බන්ධයෙන් විමසීමක් සිදුකරන අතර, අදාළ වාර්තාව මෙම සතියේ සිකුරාදාට පෙර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බාරදීමට ද නියමිතය.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බව කියන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (02 දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය.



ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ලවීමත් සමග අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ලේකම්වරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පෙරේදා (31 දා) දැනුම් දී තිබුණු අතර උමාරා සිංහවංශ මහත්මියට අමාත්‍යාංශයට අද (02 දා) පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත බවත් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

තනුව, ගායනය, පදමාලාව වැනි කරුණු ගැන නිසි අවබෝධයක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියා සහය කරගන්නා බවද ඔහු කීය.

විමර්ශනයෙන් පසු අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමටත් ඉන් පසු නීතිපති උපදෙස් ලබා ගැනීමටත් අදහස් කරගෙන සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.