university-lecture-chair

රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 12,992 ක් සිටිය යුතු වුවත් සිටින්නේ ආචාර්යවරුන් 6,548 දෙනකු පමණක් බවත්, සරසවි යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් ආචාර්යවරුන් දහසක්වත් කඩිනමින් බඳවා ගත යුතු බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) පැවැසීය.

ආර්ථික අර්බුදය හමුවේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රට හැර යෑම බරපතළ ගැටලුවක් බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේද හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.මේ අතර විශ්ව විද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති පසුබිමක් ඇති හෙයින් සති දෙකක් ඇතුළත කාර්ය සාධක බලකායක් පත් කර ඒ සම්බන්ධ වාර්තාවක් දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.ම

ේ අතර සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිශ්වවිද්‍යාලය පිළියෙළ කළ ජාතික උපායමාර්ගික සැලැස්ම එහි ප්‍රධානීහු කෝප් කමිටුවට ඉදිරිපත් කළහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. පත්මලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට පසුගිය 22 වැනිදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.මේ අතර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බාර දුන්නේ කළමනාකරණය සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් අත්පත් කරගෙන සිටීම නිසා බව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. මේ අවස්ථාව ලබාදීම එම විශ්වවිද්‍යාලයට දුන් ගෞරවයක් ලෙස සැලකිය යුතු බවද කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.



එසේම මෙම කටයුත්ත සඳහා කැපවූ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයටත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිසා බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමටත් විශේෂ ස්තූතිය පුදකරන බව කෝප් කමිටුව සඳහන් කළේය. මෙම රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුද එම රැස්වීමට සහභාගි වූහ.
 අංජුල මහික වීරරත්න