vavunia-prison

වවුනියාව බන්ධනාගාර රැඳවියන් අතර ශීඝ්‍රයෙන් පැතිරෙන බෝවන රෝගයක් වූ සරම්ප රෝගයට සමාන රෝගී තත්ත්වයක් හේතුවෙන් එම බන්ධගාරය සති දෙකක කාලයකට පමණ තාවකාලිකව වසාදමා ඇති බව වවුනියාව බන්ධනාගාර නියාමක නිලධාහු පවසති.

මෙම රෝගී තත්ත්වය ඉකුත් ජූලි 27 බන්ධනාගාර රැඳවියන් කිහිපදෙනකුට වැලඳී තිබීම හේතුවෙන් එම රැඳවියන් හා සමීපව ඇසුරු කරන ලද රැඳවියන් සඳහා සීමා පනවා තිබුණි.



කෙසේ වෙතත් රෝගී රැඳවියන් දිනෙන් දින වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ පෙරේදා (31දා) සිට එය වසාදැමීම සඳහා පියවරගත් බවත්, නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමන බවත් බන්ධනාගාර නියාමකවරු කියා සිටිති.

මෙම තත්ත්වය යටතේ වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්ට සිය ඥාතීන් හමුවීම හෝ නඩු කටයුතු වෙනුවෙන් අධිකරණ වෙත රැගෙන යෑමද තාවකාලිකව නවතා දමා ඇති අතර, අදාළ නඩු කටයුතු සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට පියවර ගෙන ඇත.

 

මේ අතර අලුතින් වවුනියාව අධිකරණය මගින් බන්ධනාගාරගත කරන සැකකරුවන් බස් රථ මගින් අනුරාධපුර බන්ධනාගාරයට යැවීමට මේ වන විට පියවර ගෙන ඇත. වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන් ගණන 400ට අධිකය. නිලධාරීන් ගණන 85කි. දැඩි අවදානමක් එහි ඇති බවට වාර්තා වෙයි.

වවුනියාව -මධුෂංක අමරසිංහ