vegetable-price-hike

අධික නියඟයත් සමඟ වෙළෙදපොළේ එළවළු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව බෝංචි, කැරට්, තක්කාලි, දෙහි, අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු මිලකින් ඉහළ ගොස් ඇතැයි ඔවුහු කියති. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 440 කටත්, කැරට් රුපියල් 480 කටත්, ගෝවා රුපියල් 380 කටත්, තක්කාලි රුපියල් 320 කටත්, වම්බටු රුපියල් 400 කටත්, දේශීය අල 480 කටත්, දෙහි රුපියල් 1000 කටත්, අමුමිරිස් රුපියල් 800 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.



සාමාන්‍ය වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500 ත් අතර මිලකටත්, කැරට් රුපියල් 500ත් 600ත් අතර මිලකටත්, ගෝවා රුපියල් 420 කටත්, තක්කාලි රුපියල් 350 කටත්, මාළු මිරිස් රුපියල් 750 කටත් අලෙවිවන බව පාරිභෝගිකයෝ සඳහන් කරති. වම්බටු 480 කටත්, බණ්ඩක්කා රුපියල් 340 කටත්, මුරුංගා රුපියල් 900 කටත්, කරවිල 860 කටත්, දෙහි රුපියල් 1100 කටත්, අමුමිරිස් රුපියල් 900 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති. වෙළෙඳපොළේ මාළු මිල ගණන් පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් පහළ අගයක් ගෙන ඇති අතර පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කෙළවල්ලා රුපියල් 1300 කටත්, බලයා රුපියල් 700 කටත්, පරා රුපියල් 1300 කටත්, තලපත් රුපියල් 1900 කටත්, සාලයා රුපියල් 400 කටත්, ලින්නා රුපියල් 660 කටත් තොග වශයෙන් අලෙවි වන බවද පාරිභෝගිකයෝ පවසති.



මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද වෙනදාට සාපේක්ෂව තරමක් පහළ අගයක් ගෙන ඇති අතර, කෙළවල්ලා රුපියල් 1600 කටත්, බලයා රුපියල් 850 කටත්, පරා රුපියල් 1700 කටත්, තලපත් රුපියල් 2300 කටත්, සාලයා රුපියල් 650 කටත්, හුරුල්ලා 900 කටත්, ලින්නා රුපියල් 760 කටත් අලෙවි වන බවද ඔවුහු පවසති.
 නිමල කොඩිතුවක්කු