vehicle-fraud

කුලී පදනම මත ලබාගෙන ඇති රුපියල් ලක්‍ෂ 100කට වඩා වැඩි වටිනාකමින් යුතු වාහන 2ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සහායෙන් ව්‍යාජ ලේඛන සකස් කර අලෙව් කළ පුද්ගලයෙකු ඊයේ (15දා) උදෑසන නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

කුලී පදනම මත ලබාගෙන ඇති, පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයිති හොන්ඩා වර්ගයේ මෝටර් රථයකට හා ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයිති වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකට ව්‍යාජ ලේඛන සකස් කර රන්පොකුණගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 100කට විකුණා ඇත.



අදාළ සිද්ධියට සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙය රට පුරාම කරගෙන යන හොර ජාවාරමක් බවත්, මෙම ජාවාරම මෙහෙයවනු ලබන්නේ කාන්තාවක බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

එසේම අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඇතුළු එම කල්ලියේ සියලු දෙනා ජාතික හැඳුනුම්පත් ඇතුළු සියලු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිගණක පද්ධතියද වෙනස් කර හොර වාහන ජාවාරම කරගෙන ගොස් ඇති බවට හෙළි වී ඇත.



පැමිණිල්ලට අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇති බවත්, තවත් වාහන ගණනාවක් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවත් පොලීසිය පවසයි.

මෙම ජාවාරම මෙහෙයවන කාන්තාව ඇතුළු අනෙක් ජාවාරම්කරුවන් සැඟ වී සිටින නමුත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලීසිය සඳහන් කරයි.

නීත්‍යනුකූල වාහන හුවමාරු කිරීම් වශයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිගණක පද්ධතිය තුළ පෙන්නුම් කරන බවත්, එම කාර්යාලය තුළ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් පොලීසිය පවසා සිටියි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ මෙහෙය වීම යටතේ එහි උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්. වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීමට සහභාගි වූහ.

  වාරණ ආනන්ද ඉ ජයකොඩි