visa-epf

විදේශ රැකියාවලට ඉල්ලුම් කිරීමේදී ස්ථිර රැකියාවක් කරන බවට සහ සේවා පළපුරුද්ද පිළිබඳ සාක්ෂි ලෙස මෙන්ම වීසා ලබා ගැනීම සදහා සේවක අර්ථ සාධක අරමුදල හා සම්බන්ධ ව්‍යාජ ලේඛන තානාපති කාර්යාලවලට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සැක මතුව ඇති බැවින් සේවක අර්ථසාධක අරමුදල හා සම්බන්ධ ලේඛනවල සාපේක්ෂතාව තහවුරු කරන ලෙස තානාපති කාර්යාවලින් ඉල්ලීම් රැසක් සේවක අර්ථ සාධක අරමුදලට ලැබී ඇතැයි ද මහබැංකුව කියයි.



විවිධ රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රසම්පාදන සඳහා ලංසු තැබිමේදීද සේවක අර්ථ සාධක අරමුදල හා සම්බන්ධ ව්‍යාජ ලේඛන ලබාදීම සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

තානාපති කාර්යාල සහ විවිධ ආයතන විසින් සත්‍යතාව තහවුරු කරන ලෙස මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ලේඛනවල ව්‍යාජ ආයතනික නම් ලිපිනයන්, සාමාජික අංක සාමාජිකයන්ගේ නම් සහ සාමාජිකයන්ගේ දායකත්වය පිළිබඳ වලංගු නොවන තොරතුරු ඇතුළත් වී ඇති බවට නිරීක්ෂණ වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.



සේවක අර්ථසාධක අරමුදලට අදාළ ව්‍යාජ ලේඛන තානාපති කාර්යාවලට සහ විවිධ ආයතන වලට ඉදිරිපත් කරමින් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් සහ සියලුම ආයතන වලින් ඉල්ලා සිටින බව මහ බැංකුව කියයි.


සේවක අර්ථසාධක අරමුදලට අදාළ සියලුම ලේඛන සුරක්ෂිතව තබා ගන්නා ලෙස එහි සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව මහ බැංකුව කියයි.

විමුක්ති එස්. රුද්‍රිගු