water-levels-down

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වනවිට දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවීමේ අවදානමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ඌව පළාතේ වැව් හා වාරි මාර්ගවලට ජලය සපයන ප්‍රධානතම ගංගා දෙකක් වන මහවැලි ගගේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී පතුල පෑදෙමින් ඇත. මේ වනවිට යල කන්නයේ ගොවිතැන්වලට ද නියඟය දැඩි ලෙස බලපා ඇතැයි ගොවීහු පවසති.



පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා සමනලවැව ජලාශයේ ජල මට්ටම ඊයේ (02දා) වනවිට 14% දක්වාද උඩවලව ජලාශයේ ජල මට්ටම 2% දක්වාද පහළ බැස ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් බලධාරීන්ට දැනුම් දී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් සමනලවැව ජලාශයේ ජලය උඩවලව ජලාශයට මුදාහැරීමේ තීරණය ද නතර කර තිබේ.

වේලිඔයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කටයුතු කරන බව වලව ගොවි සංවිධානවලට බලධාරීන් දැනුම් දී ඇත.

උඩවලව ජලාශයේ දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි දෙදහසක තරම් සුළු ජල ධාරිතාවක් පමණක් බවද වාරිමාර්ග ඉංජිනේරුවන් දැනුම් දී තිබේ.