පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද (07දා) මුහුදු රළ උස මීටර් 2.0ත් 2.5ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවත් සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් පෙන්වා දෙයි.



හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි බවද සඳහන් කරයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් පැයට කිලෝමීටර් 45ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවත් අද දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද පෙන්වා දෙයි.



නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් මේ නිසා තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
-එච්. අයි. තුෂාර