welipanna-incident

මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත කාන්තාවක වැලිපැන්න මීගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය පවසයි.



මත්තේගොඩ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සතුව තිබූ රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.



ඩුබායිහි සැඟව සිටින බව කියන ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන අහුංගල්ලේ දිල්ෂාන් නමැත්තාගේ ජාවාරමට සම්බන්ධ සැකකාරිය වැලිපැන්න මීගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන ජාවාරම සිදුකරන බවට ලද තොරතුරක් මත උපපොලිස් පරීක්ෂක නුවන් කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කාමරය වටලා තිබේ.

පළමුව මත්කුඩු නොමැති බවට ප්‍රකාශ කර ඇතත්, කාන්තා කොස්තාපල් ශාරිතා ලවා පරීක්ෂා කිරීමේදී අත්බැගයේ සගවා තබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සොයාගෙන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.



දිනකට රුපියල් 5000ක මුදලක් වැයකරමින් සංචාරක හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති බවට හෙළිව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය. සැකකාරිය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පවසා සිටියේය.

කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකයේ උපපොලිස් පරීක්ෂක නුවන් කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදු කර තිබිණි.
 පානදුර සුමිත් පොතුපිටිය