වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසින් රුපියල් එක්කෝටි පන්ලක්ෂයකට අධික වටිනා මැණික් ගල් තුනක් සොරාගත් එකම පවුලේ පියා, මව, පුතා ඇතුළු මැණික් ගල් අලෙවි කළ හා ළඟ තබාගත් දෙදෙනකු සමග පස් දෙනෙකු ඉකුත් දා (04) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට පත් පියා තලවකැලේ පදිංචි වයස අවුරුදු 68 ක් වන එම නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි අය වන අතර,

මව වයස අවුරුදු 65ක තැනැත්තියකි. පුතාට වයස අවුරුදු 32ක් වෙයි.

මෙම සොරකම පසුගිය ජූලි මස 15 ත් 18 ත් අතර කාලසීමාවේ රාත්‍රී කාලයේ සිදුවී ඇති බවට ව්‍යාපාරිකයා විසින් නිවසේ මෙහෙකරු සැක බවට වැල්ලවත්ත පොලිසියට ඉකුත් 31 කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු නිලධාරීහු තලවකැලේ ප්‍රදේශයේ දී මැණික් ගල් දෙකක් ලක්ෂ හතක මුදලක් සමග දෙදෙනකු ද අත්අඩංගුවට ගත්හ.

සිදුකළ විමර්ශනයට අනුව එක් මැණික් ගලක් මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ දාහතරකට අලෙවිකර ලබාගත් මුදල්වලින් රුපියල් ලක්ෂ හතක මුදලක් ද සමග ප්‍රධාන සැකකරු සමග මව හා පුතා ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

එච්.එම්. ධර්මපාල