woman-rehabilitation

මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන සහ ඊට දැඩි ලෙස ඇබ්බැහි වූ කාන්තාවන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙම විශේෂ පුනරුත්ථාපන වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

මේ වන තෙක් මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට රජයේ කිසිදු ආයතනයක් නොතිබීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමටද රජය තීරණය කර තිබේ.

‘‘2023 අංක 02 දරන පුනරුත්ථාපන කාර්යාංශ පනත මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකියි. මෙතෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් නව පනත යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර තිබෙනවා.’’ යැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේය.



‘‘මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්ව බන්ධනාගාර ගතව කාන්තාවන් සියයකට ආසන්න පිරිසක් ඉන්නවා. එම පිරිසත් පුනරුත්ථාපනයට ලක් කර සමාජගත කිරීමටද මෙම නව වැඩපිළිවෙළ යටතේ කටයුතු කරනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ පළමු මධ්‍යස්ථානය වවුනියාවේ හෝ කන්තලේ ප්‍රදේශයේ පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.’’ යැයි ද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඉෂාර රත්නකාර)