yala-animal-killers

සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි දියකඩිති හා වැව් ආශ්‍රිතව වළවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.



මේ වනවිට පවතින වියළි කාලගුණ තත්ත්වය මත සතුන්ට බීමට ජලය ඇති ප්‍රදේශ අඩුවීම නිසා ජලය සොයා පැමිණෙන සතුන්ට දිය වළවල් සාදා එම දිය වළවල් තුළට වස යොදා සතුන් මරා මස් පිණිස විකිණීමට දඩයක්කරුවන් කටයුතු කරන බව වනජීවී නිලධාරීහූ පවසා සිටිති.

කතරගමට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන්ට මෙම මස් අලෙවි කරන බවත් ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස් අලෙවි කිරීමෙන් මිනිස් ජීවිත අවදානමක් ද පවතින බව වනජීවී නිධාරීහු පෙන්වා දෙති.

මේ ආකාරයෙන් මියගිය සතුන්ගේ මළසිරුරු ගණනාවක් මේ වනවිට සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇති මුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව ඇත.



විශේෂයෙන්ම කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට වස යොදා මරණ ලද සතුන්ගේ මස් අලෙවි කිරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් ඒ පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුවත් කරන ලෙසද වනජීවී නිලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.