yala-closer

දැඩි නියඟය හේතුවෙන්, වන සතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන යාල, විල්පත්තුව සහ උඩවලව වනෝද්‍යාන තාවකාලිකව වසා දැමීමට එම වනෝද්‍යාන බාර ප්‍රධානීන් රජයට නිර්දේශ කර ඇත.  මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර ගෙන යන බවයි. දැඩි නියගයේදී ජලය සහ ආහාර අඩුවීමෙන් සතුන් පීඩනයට ලක්ව සිටින අවස්ථාවක සංචාරකයන් පැමිණීමෙන් එම පීඩනය දෙගුණ තෙගුණ වන හෙයින් එම කාලසීමාවේදී වනෝද්‍යාන වසා දැමීම සාමාන්‍යයෙන් කළ යුත්තක් බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.



නියඟ පවතින කාලවලදී සතුන් ජලය සොයා ජල මූලාශ්‍රවලට වැඩි වශයෙන් පැමිණෙන හෙයින් එම කාල සීමා වලදී සතුන් දඩයම් කිරීමද පෙර නොවූ විරූ ලෙස වැඩි වන බව පැවසූ සූරියබණ්ඩාර මහතා එලෙස සතුන් දඩයම් කිරීම වැළැක්වීමද වනෝද්‍යානය වසා දැමීමේ තවත් අරමුණක් බව සඳහන් කළේය. සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා අමතර නිලධාරීන් යෙදවීමටද මෙම කාලසීමාවේදී සිදුවන බව වනජීවී අංශ පවසයි. කුමන කුරුලු උද්‍යානයේ පක්ෂීන්ට දැඩි නියඟයෙන් යම් බලපෑමක් ඇතිවී තිබෙන නමුත් යාල, විල්පත්තුව සහ උඩවලව වනෝද්‍යානවලට සාපේක්ෂව එම බලපෑම අවම බව සූරියබණ්ඩාර මහතා කීවේය.



මේ අතර දැඩි නියඟය හේතුවෙන් යාල, විල්පත්තුව සහ උඩවලව වනෝද්‍යානවල කුඩා ජලාශ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇතැයි වනජීවි ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම වනෝද්‍යානවල සංචාරක කලාප පවත්වාගෙන යෑමේ අරමුණින් එම ප්‍රදේශ ඉලක්ක කර ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දැඩි නියඟය හේතුවෙන් මාදුරුඔය, ගල්ඔය, අංගම්මැඩිල්ල, හොරොව්පතාන, සෝමාවතිය, උඩවලව, බූන්දල, වස්ගමුව, මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ මින්නේරිය යන වනෝද්‍යානවලද ආහාර සහ ජලය හිඟවීමෙන් සතුන් පීඩාවට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. මේ අතර ජාතික වනෝද්‍යාන තුළ සහ රක්ෂිත ප්‍රේරණ කලාප තුළ ගිනි තැබීම් හේතුවෙන් වන අලින්ද උග්‍ර ආහාර අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ.
සුජිත් හේවාජුලිගේ