10-more-universities-will-be-established-President

ඉදිරියේ දී නව විශ්වවිද්‍යාල 10 ක් මෙරට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදී රටවල උසස් අධ්‍යාපනය ලබාගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.



21 වැනි ශත වර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තු වලින් ද අදහස් ලබාගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ නව කොමිසමට ද ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබාදිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.



රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 140 දෙනකු පමණ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවට එක්ව සිටි අතර අනතුරුව පිරිස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් වූහ.රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් චතුකාරවත්ත මහතා සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.