වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා මහාචාර්යවරුන් ආචාර්යවරුන් 1,600කට වැඩි ප්‍රමාණයක් සිටිය යුතු වුවත්, මේ වනවිට වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතු කරනු ලබන්නේ, 800කට ආසන්න ප්‍රමාණයක් බව රජයේ වෛද්‍ය නිලධාර්න්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය අධ්‍යාපනය ලබාදිය යුත්තේ, වෛද්‍ය උපාධිය සහිත මහාචාර්වරුන් හා ආචාර්යවරුන් බවත්,

පවතින හිඟය නිසා වෛද්‍ය අධ්‍යාපන කටයුතු සිදුකිරීම දුෂ්කර කටයුත්තක් වී තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

රට තුළ මේ වනවිට වෛද්‍යපීඨ 12ක් ස්ථාපිත කර තිබෙන බවත්, මෙම පීඨවල සිසුන් පුහුණු කිරීමට සිටින මහාචාර්යවරුන් ආචාර්යවරුන් රට හැර යාම ඉහළ ගොස් තිබෙන අතර, වෛද්‍ය ශිෂ්‍යන් 07දෙනෙකුට එක් ආචාර්යවරයෙකු වශයෙන් සිටිය යුතු නමුත් මේ වනවිට සිටිනේ, ශිෂ්‍යයන් 15කට එක් ආචාර්යවරයෙකු බවත් හෙතෙම පවසා සිටියේය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රමිති සහතිකය හිමි වූ බවත්, වෛද්‍යපීඨවල අධ්‍යාපන කටයුතුවලට බලපෑම් සිදුවුවහොත් මෙම ජාත්‍යන්තර සහතිකය පවා රටට නැති වී යා හැකි බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

අපේ කලාපේ රටවලින් මෙම සහතිකය මේ වනවිට හිමිව තිබෙන්නේ,

තායිලන්තයට හා ඉන්දුනීසියාවට පමණක් බවත්, ඉන්දියාවට පවා වෛද්‍ය අධ්‍යාපනයට ලෝක පිළිගැනීමේ සහතිකය හිමි වී නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.

එසේම වෛද්‍යවරුන් රට හැර යාම නිසා රෝහල් කටයුතු සඳහා දැඩි බලපෑම් සිදුවෙමින් තිබෙන බවත්, පවතින මෙම ගැටලු විසඳීම සඳහා තම සංගමය විසින් යෝජනාවලියක් බලධාරීන්ට භාරදීමට කටයුතු කළද, එම යෝජනා ක්‍රියාත්මක කිරීම අමතක කර වෙනත් යෝජනා ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

 ඉන්දික හේවාවිතාරණ