A-lesson-for-the-housewife-from-the-mouse-that-interfered-with-the-laundry

තම නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට වැඩි ආරක්ෂාවක් සැපයීමට යාමෙන් එයට ඇතුල් වූ මීයකු විසින් ගෙහිමි කතට කදිම පාඩමක් ඉගැන්වීමේ සිදුවීමක් මහනුවර නගරයේ පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි. සිද්ධියට මුහුණ පා සිටි පුද්ගලයාගේ නිවසට තම බිරිඳගේ මව එනම් නැන්දනිය පැමිණියේ ටික දවසකට තම දරුවන් බලා ගැනීමේ අරමුණ ඇතිවය. එසේ පැමිණි ඇය නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට ආරක්ෂාව මදි යැයි සිතා මියන්ගෙන් ආරක්ෂා වීමට එයට ඉහළින් රෙද්දකින් වැසුවේ වැඩි ආරක්ෂාවටය.



පසු දිනක රෙදි සේදීමට යාමේ දී එය ක්‍රියා විරහිතව ඇති බවත් වැඩිදුර සොයා බැලීමේ දී එහි මියකු රිංගා සිටින බවත් දක්නට ලැබිණි. රෙදි සෝදන යන්ත්‍රයේ සිටි මීයා එයින්  එළවීමට සුදුසු අවියක් සෙව්වත් එවැනි යමක් සොයා ගැනීමට නොමැති හෙයින් කොස්සෙන් පහර කිහිපයක් ගසා මියා ඉවත් කිරීමට උත්සහ කළේය. නිවස අතුගෑමට අලුතින්ම ගෙනා කොස්සට රුපියල් පන්සියක මුදලක් වැයකර තිබූ අතර මීයා එළවීමට ගැසූ පහරකින් කොස්ස බිඳී  ගියේය.

කොස්ස බිඳී ගියත් මීයා තවදුරටත් රෙදි සෝදන යන්ත්‍රය තුළ සිර වී සිටින බව දැක ගන්නට ලැබුණු අතර එදින දවස පුරාම උත්සාහ කළත් මීයා රෙදි සෝදන යන්ත්‍රය තුළින් එළියට ගැනීමට නොහැකි විය. අවසානයේ දී මීයා ඉවත් කිරීමට කාර්මිකයෙකුගේ සහාය ලබා ගැනීමට තීරණය කළ අතර ආසන්නයේ ඇති එවැනි උපකරණ අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට රැගෙන ගියේය.

එය පරික්ෂා කර බලා මියා ඉවත් කර යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති දෙකක කාලයක් පමණ ගතවන බවට කාර්මිකයා සඳහන් කළේය. නිවෙස් හිමියාට හා භාර්යාවට දෛනිකව රාජකාරියට වාර්තා කිරීමට ඇති බැවින් රෙදි සේදීමේ කාර්යයෙන් වැඩි කොටසක් සති දෙකක කාලයක් පමණ නැන්දනියට පැවරුණේ නිරායාසයෙනි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දෛනික වියදම ද ඉහළ ගියේ නැන්දනිය නිවසේ නතර වූ නිසාවෙනි.

පසු දිනයක රාජකාරි නිමවී රෙදි සෝදන යන්ත්‍රය රැගෙන ඒම සඳහා කාර්මිකයා වෙත ගිය රෙදි සෝදන යන්ත්‍රයේ හිමිකරු, අලුත්වැඩියාව සඳහා වැය වන මුදල විමසුවේය. සඳහා රුපියල් දොළොස් දහසක මුදලක් අවශ්‍ය බවත් ප්‍රවාහනය සඳහා රුපියල් දෙදහසක මුදලක් වැය වන බවත් කාර්මිකයා සඳහන් කළේ හිමිකරුගේ ඉහ මොළ රත් කරමිනි. කෙසේ හෝ අදාළ මුදල ගෙවා සිතේ අමාරුවට අතරමග දී ඉතිරි මුදලින් අඩියක් ද ගසා රෙදි සෝදන යන්ත්‍රය නිවසට ගෙන ආ ඔහු ගෙදර කොස්සට පන්සියයි. අලුත්වැඩියාවට පහළොස් දාහයි, පරිස්සමට ගිහින් හොඳ ගානකට තට්ටු උනා යැයි උස් හඬින් පැවසුවේ නැන්දනියට ඇසෙන්නටය.

පී.එම්. රාජපක්ෂ