A-new-operation-to-trap-criminals-at-the-airport-comes-to-a-screeching-halt

ගුවන්තොටුපොල හරහා රටින් පිටවන හා රටට ඇතුළු වන අපරාධකරුවන් කොටුකර ගැනීමට ආරක්ෂක ප්‍රධානීන් ආරම්භ කළ නව වැඩපිළිවෙළක් එය ක්‍රියාත්මක කර පැය කිහිපයක් ඇතුළත ලැබුණු ඉහළ නියෝගයකින් නතර කර දැමීමට සිදුවී ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීන්දු කෙරිණි. මෙම සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස් ප්‍රධානීන් ,බුද්ධි අංශ ප්‍රධානීන් ,මෙන්ම ආගමන විගමන පාලකවරයාත්,ගුවන්තොටුපොල සභාපතිවරයාත් එක්ව සිටියහ.

එහිදී බුද්ධි අංශ ප්‍රධානීන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අපරාධකරුවන් හා ජාවාරම් කරුවන් කටුනායක ගුවන්තොටුපොල ආගමන විගමන කවුළුවලින් රිංගා යන ආකාරය පිළිබඳ පුළුල්ව පෙන්වා දී ඇත.



මෙම කරුණු පෙන්වා දීමෙන් පසුව ආගමන විගමන කවුළු වෙත පුද්ගලයන් පැමිණෙන අනුපිළිවෙළ අනුව කවුළු වෙත යොමු කිරීමට යෝජනා වී තිබේ.ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මග පෙන්වන නිලධාරියෙකු කවුළුවලට ඉදිරියෙන් ස්ථානගත කර අනුපිළිවෙළ අනුව කවුළු වෙත යොමු කිරීමටද තීරණය කර ඇත.

එම තීරණය පෙරේදා (19 වැනිදා) සිට ආරම්භ කිරීමට තීරණය විය. මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයක් යාමේදී ඉහලින් ලැබුණු නියෝගයකට අනුව එය නතර කිරීමට සිදුව ඇතැයි අනාවරණය විය.



කටුනායක ගුවන් තොටුපොලේ ආගමන විගමන කවුළුවලට ගුවන් මගීන් කැමැති ආකාරයට යාමට ඉඩ සැලසීම නිසා ජාවාරම්කරුවන් සමග හිතවත් නිලධාරීන් සිටින අවස්ථාවල ජාවාරම්කරුවන් එම කවුළු තෝරා ගෙන රටින් පිට වීම හා ඇතුල්වීම සිදු කරන බවද මෙම සාකච්ඡාවේදී හෙළි වී ඇත .

පසුගියදා කටුනායක ගුවන්තොටුපොලේදී පාතාල නායක ගනේමුල්ල සංජීව අහඹු ලෙස කොටුවූයේත් ආගමන විගමන නිලධාරියෙකු මාර්ගයෙන් රටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී විය හැකි බවත්,මෙදින රාජකාරියේ සිටි ආගමන විගමන නිලධාරියා නිසි ලෙස රාජකාරි කිරීම නිසා ගනේමුල්ල සංජීව කොටු වූ බවට අනුමාන කරන බවත් පොලිස් ප්‍රධානීන් මෙහිදී පෙන්වා දී තිබේ.

(විමුක්ති නානයක්කාර - aruna)