බොරැල්ල කොටා පාරේ කාර්ගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳ සැලකින් චොක්ලට් සොරකම් කරන ලදැයි එයට ආ පාරිභෝගික කාන්තාවකට එම ආයතන සේවකයින් බිම පෙරළා පහරදීමට අදාළ උසාවි විභාගය ඊයේ පැවති අවස්ථාවේ මෙම කාන්තාව ගැන වැඩිමනක් තොරතුරු හා මේ දක්වා හෙළි කළ කරුණු වල සත්‍යතාවන් ගැන සැකයක් මතුව තිබෙයි. බොරැල්ල මැගසිං පාරේ පදිංචි ළහිරුකා උමයංගනීට (උමා) නමැති එක්දරු මවක මෙම පහරකැමට ලක්ව තිබුණි. ඇය මින් පෙර වැලිකඩ, කොල්ලුපිටිය,කොහුවල ආදී තැන්වල ෆුඩ් සිටි ශාකාවලින් සොරකම් කර හසුව ඇති බවට හා අයිස් ලබාගන්නා තරුණියක බවට පොලිසිය උපුටමින් පළවූ මාධ්‍ය වාර්තා කිසිවක් පොලිසිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැත.
ඒවා ගොතා පළකර ඇති ඒවාද යන්න ගැන සැකයක් මතුවේ.
සිද්ධිය වූ දිනයේ මෙම කාන්තාව බොරැල්ල කොටා පාරේ පිහිටි කාර්ගිල්ස් ශාඛාවට පෙරවරු 9.30 ට පමණ පැමිණ ඇති බවත්, ඇය එම අවස්ථාවේදී රත්ති කිරි පැකට්ටුවක් සොරාගෙන එම වෙළඳ සැලෙන් පිටව ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කළ අතර ඇය පසුව දෙවනුව දහවල් සිය දරුවාට ඇන්කර් පිඩියා ළදරු කිරිපැකට්ටුවක් ගැනීමට එහි පැමිණ ඇති බවත් පැකට්ටුවේ මිල රුපියල් 1080ක් යයි අසා එය අතපත ගා තිබූ තැනින්ම තබා ඇති බවත් අනතුරුව මුදල් ගෙවා සිය දරුවාට පෙබල්ස් චොකලට් පැකට්ටුවක් රුපියල් 60කට මිලදීගෙන ෆුඩ් සිටියෙන් පිටතට යාමට උත්සාහ කර ඇති බව පැවසේ.
මින් ඉහත පැමිණි අවස්තාවේ ඇය සොරකම් කළ රත්තී පැකට්ටුව ගැන විමසමින් කාර්ගිල්ස් හි කලමනාකාරියක විසින් පහරදී ඇතැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
පසුව සේවක සේවිකාවන්ද එක්ව ඇයට පහරදුන් අයුරු හා ඇය ආරක්සාව තකා ඇඳුම් උනාදමන අයුරු වීඩියෝවෙන් පැහැදිලි වේ. ඇය පිහියක් එළියට ලෙන බය කළ බවක් මින් ඉහත පොලිසිය උපුටමින් ඇතැම් මාධය වාර්තා කළ නමුත් එවැනි දෙයක් සිදුවුනා යයි අධිකරණයේදී හෙළි වූයේ නැත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර ඔවුන් පැමිණිලිකාරිය විසින් ඔවුන් හත්දෙනාගෙන් පස්දෙනෙකු හඳුනා ගනු ලැබුවාය.
තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතර සිටි සැකකරුවන් රුපියල් පන්දහස බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කොලඹ අතිරේක මහේස්ත්‍රාත් සජින්ද්‍රා වීරසූරිය මහත්මිය ඊයේ (25) නියෝග කළාය.
ලබන නොවැම්බර් 08 වැනිදා මේ නඩුව යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සුපිරි වෙළඳසැල් ඇතුළු ඕනෑම සිල්ලර ආයතනයක සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරීන් හරහා ඊට සම්බන්ධ පාර්ශවයන් පාලනය කර පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවට දන්වා සිටින බව පොලිසිය මේ අතර ප්‍රකාශයක් මගින් පැහැදිලි කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූව මහතා අවධාරණය කළේ භාණ්ඩ සොරකම් කිරීම හෝ වෙනත් ආකාරයකින් නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයෙකුට පහර දීමට කිසිවෙකුට නොහැකි බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තල්දූව ප්‍රකාශ කළේ සැකකරුවන්ට පහරදීම පැහැදිලිවම පිළිගත නොහැකි බවත්, එවැනි සිද්ධියක් වාර්තා වුවහොත් සිද්ධියට සම්බන්ධ අදාළ ආයතනයේ සේවකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.
0 Comments