Heaviest-rain-in-140-years-floods-Hong-Kong

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිකුරාදා වන විට හොංකොං නගරයට ගංවතුර තත්වයක්  ඇති විය. ගංවතුර තත්වය හේතුවෙන් වීදි,  කඩ සාප්පු සහ නගරයේ දුම්රිය ස්ථානය ජලයෙන් යට විය. එම නිසා  බලධාරීන් විසින් පාසල් වසා දමා ජනතාවට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.
මෙය වසර 140 කට පසු හොංකොං වෙතින් වාර්තා වූ වැඩිම වර්ෂාපතනයයි.

හොංකොං නිරීක්ෂණාගාරය විසින් බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට  සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වූ කාලය තුළ මිලිමීටර් 158.1 (අඟල් 6.2) වර්ෂාපතනයක් නගරයට පතිත වූ බව වාර්තා කළේය.

කාලගුණ කාර්යාංශය ඉහළම 'කළු' වැසි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර , බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට හොංකොං හි ප්‍රධාන දූපතක් වන කොව්ලූන් දූපතට සහ නගරයේ ඊසානදිග ප්‍රදේශයට මිලිමීටර් 200 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වූ බව පැවසීය.

හයිකුයි (Haikui) සුළි කුණාටුව හේතුවෙන් ඇති වී ඇති අඩු පීඩන තත්වය නිසා බ්‍රහස්පතින්දා දිනයේ සිට ගුවැන්ඩොං වෙරළට ධාරානිපාත වර්ෂාවක් ලැබුණු බව කාලගුණ කාර්යාංශය පවසයි. අවම වශයෙන් සිකුරාදා දහවල් වන තෙක්ම ආන්තික තත්වයන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.



නගරාධිපති වන ජෝන් ලී පැවසුවේ භූමි ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවල ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර “තම උපරිමය යොදමින් ආපදාවට මුහුණ දෙන ලෙස සියලුම දෙපාර්තමේන්තුවලට උපදෙස් දුන් බවයි. ”

හොංකොං හා කොව්ලූන් දූපත එකට යා කරන නගරයේ ප්‍රධාන හරස් වරාය උමග ද ජලයෙන් යට වී ඇති අතර චායි වන් දිස්ත්‍රික්කයේ ජලයෙන් යට වූ සාප්පු සංකීර්ණ වල ඡායාරූප මාධ්‍ය වල ප්‍රචාරය කරන ලදී.

නගරයේ දුම්රිය ගමනා ගමනය ක්‍රියාත්මක කරන හොංකොං හි MTR කෝපරේෂන් පැවසුවේ එක් දුම්රිය වාරයක් නවතා ඇති අතර අනෙක් ඒවා ප්‍රමාද වී ක්‍රියාත්මක වන බවයි.

දැඩි ගංවතුර සහ ප්‍රවාහනයට බාධා කරමින් ඇති වූ මෙම ආන්තික තත්වයන් හේතුවෙන් සිකුරාදා සියලුම පාසල් වසාදමා ඇත.