Mother-and-son-died-after-a-motorcycle-collided-with-a-container-in-Minuwangoda

"මගේ අතින් හදපු තේ එක බීලා දරුවා ගේන්න ගිය දුවට මේ වගේ දෙයක් වෙයි කියා කොහෙත්ම හිතුවේ නෑ. යැයි මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේදී යතුරු පැදිය කන්ටේනර් රථයක ගැටීමෙන් මිය ගිය කාන්තාවගේ සහ ඇයගේ පුතාගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මිය ගිය කාන්තාවගේ මව වන මිනුවන්ගොඩ, මැඩෑමුල්ලේ පදිංචි මේ බල් බ්ලයිට් සපරමාදු නමැති 65 හැවිරිදි මව පැවැසුවාය.
ඇය මෙසේ ද පැවැසුවාය.
" අනතුරින් මිය ගොස් තිබෙන්නේ මගේ ලොකු දුව දිනේෂා නිරෝෂණී ජයසේ කර සහ දුවගේ වැඩිමහල් පුතා වන දෙනුවර චමෝද් රත්නායක. මිය ගිය ලොකු දුවට වයස අවුරුදු 45ක්. දුවගේ පුතාට වයස අවුරුදු 20යි. එයාලා පදිංචි වෙලා ඉන්නේ මගේ ගෙදර ළඟ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ ඒ හතර දෙනා- ගෙන් වැඩිමහල් කෙනා. දුවට තවත් අවුරුදු 13ක දුවෙක් සහ පුතෙක් ඉන්නවා.
නැති වුණ ලොකු දුවගේ මහත්තයා රස්සාව කරන්නේ රුසියාවේ. දුව නිතරම මගේ ගෙදරට යනවා එනවා.

එදත් (01) අපේ ගෙදරට ඇවිත් මම හදලා දුන්න තේ එක බීලා කතා කර කර ඉඳලා රෑ
අටහමාරට විතර උපකාරක පන්තියේ ඉන්න එයාගේ දුව අරන් එන්න එයාගෙ පුතත් එක්ක බයිසිකලෙන් ගියා. බයිසිකලේ පැද්දෙ ලොකු දුව. එයාලා අපේ ගෙදරින් යන කොට වැස්ස ටිකක් තිබුණා. දරුවා අරගෙන එන්න වෙලා ගිය හින්දා මම දුවගේ ෆෝන් එකට කෝල් කළා. ඒත් දුව කතා කළේ නෑ. එයාගේ පුතාගේ ෆෝන් එකටත් ගත්තා. එයා කතා කළෙත් නෑ. මම ගෙයින් එළියට ඇවිත් බලනකොට ගේ ළඟ ගොඩක් අය පිරිලා හිටියා. එයාලා කිව්වා, දුවයි එයාගේ පුතයි ගිය බයිසිකලය හැප්පිලා කියලා. මම මිනුවන්ගොඩ ඉස්පිරිතාලෙට ගියා. පස්සෙ දැන ගත්තා දුවයි, එයාගෙ පුතයි නැති වෙලා කියලා."

මිනුවන්ගොඩ හදිසි මරණ පරීක්ෂක චාමලී නානායක්කාර මහත්මිය විසින් පෙරේදා (02) වතුපිටිවල රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය පවත්වන ලදි.


මිය ගිය මවගේ සහ ඇයගේ පුතුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ද පෙරේදා (02) වතුපිටිවල රෝහලේදී පැවැත්විණි.
පපු ප්‍රදේශයට සහ හිසට සිදු වූ හානි හේතුවෙන් එම ඉන්ද්‍රියයන්ට ලේ ගැලීමෙන් මේ දෙදෙනාගේ මරණය සිදුව ඇති බවට වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා තීන්දු කර තිබුණි. ඉදිරිපත් වු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි අනුව දෙදෙනාගේ මරණය රිය අනතුරක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරිය තීන්දු කළාය.
මිය ගිය මවගේ සහ ඇයගේ පුතාගේ මරණය සම්බන්ධයෙන් අවසන් කට යුතු අද (04) පස්වරුවේ මිනුවන්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.