The-article-reveals-that-Sujatas-killer-husband-is-a-psycho

පසුගිය සතියේ බත්තරමුල්ල ළැගුම්හලකින් වාර්තාවූ මනෝ උපදේශිකා සුජාතා මානාභරණගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පවත්වන පොලිසියට ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඇයගේ ‘සැමියා‘ ලෙස හැඳින්වූ ළැගුම් හලේ සිට අතුරුදන්වූ පුද්ගලයා තවම සොයාගැනීමට හැකිවී නැත.
නමුත් ඔහු තබා ගිය බවට සැකකරන දීර්ඝ ලිපිය ඔස්සේ කරුනු ගනනාවක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්වී තිබේ.



 සුජාතා මානාභරණ ලංකාවේ ප්‍රකට චරිතයකි. ඈ ප්‍රසිද්ධ වූයේ ධනාත්මක චින්තනය පිළිබඳ වැඩමුළු පවත්වන උපදේශිකාවක ලෙසය. ආරක්ෂක අංශවල ඇය ජනප්‍රිය කාන්තාවක්ද වූවාය.
තලංගම පන්නිපිටිය පාර, නෙරළු උයනේ පිහිටි ලැගුම් හලක කාමරයේ නිදන ඇඳෙහිම වැතිරි මියගොස් සිටි ඇයගේ ගෙල අසල නයිලෝන් නූලක්ද තිබෙන ආකාරය පොලිසියට නිරීක්ෂණය විය.

මෙම කාන්තාව නමක් ගමක් නිශ්චිතවම නොපවසා පසුගිය 26 වැනිදා මෙම අවන්හලට පැමිණ ඇති බවත් ඇය ජාතික හැඳුනුම්පතද අවන්හලේ සේවකයන්ට දී නැති බවත් අනාවරණය වී තිබිණි. එසේම ඇය හා පැමිණි ඇයගේ පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයාද ජාතික හැඳුනුම්පතක් නොදී හෝටල් කාමරය වෙන්කරවා ගෙන ඇති බවත් දෙදෙනාම බාල වයස්කරුවන් නොවන නිසා එලෙස ඔවුනට කාමරයක් දුන් බවත් හෝටල් සේවකයන් පොලිසිය ප්‍රශ්න කරන්න විට කී කතාවය.



හොටල් සේවකයන් පවසන ආකාරයට මේ ජෝඩුව සතියකට වැඩි කලක් හෝටලයේ නතර වී සිට තිබේ. ​ඒ දිගටම නොවේ.

මොවුන් උදෑසනම පිටව ගොස් රාත්‍රියේදී ලැගුම්හලට පැමිණෙන බවත්, එම ජෝඩුව අවසන් වරට එළියට ගොස් පැමිණ ඇත්තේ පසුගිය 03 වැනිදාය. මොවුන් (04 වැනිදා) උදෑසන වනතෙක්ම කාමරයේ දොර විවර කර නැත. සේවකයන් කතා කළත් ඊටද ප්‍රතිචාර දක්වා නැත. ඒ අනුව විකල්ප යතුරක් ආධාරයෙන් සේවකයන් කාමරයේ දොර විවෘත කර තිබිණි. එහිදී දැක ඇත්තේ කාන්තාව මැරී වැටී සිටින ආකාරයය. එනමුත් ඈ සමග පැමිණි පෙම්වතා කාමරයේ අතුරුදන්ව තිබුණි.
ඈ හෝටලයට පැමිණි පුද්ගලයා සමගින් යම් කාලයක් ඇසුරු කර ඇති බවත් දෙදෙනා විවාහ නොවූවත් අඹු සැමියන් සේ ජීවත්ව තිබෙන බවත් පැවසේ.

ඝාතනයට ලක්වූ මෙම කාන්තාව සමගින් සිටි පුද්ගලයා ගැන අනාවරණය වන්නේ ඔහු විසින් ලියා තබා ඇති ලිපියක් පොලිසිය විසින් අවන්හල් කාමරයේ තිබි සොයාගැනීමත් සමගය. ඒ ලිපියේ දැක්වෙන පරිදි කාන්තාවගේ සහකරුවා අංගප්පොඩි මහේෂ් අසංක ද සොයිසා නමැති අයෙකි. දැඩි මානසික ආතතියකින් සිටි ඔහු තිදෙනකුම ඝාතනය කරන තැනටම පත්වුවත් ධර්මානුකූල සිතුවිලි සිත්තුළ ඇතිකරමින් ඔහුගේ වෛරී ආතතිය තුරන් කර ඇත්තේ සුජාතා මානාභරණ නමැති මැය බවද එම ලිපියේ සඳහන්ව ඇත. එසේ නම් තම දිවිය ගලවා ගත් සුජාතා ඔහු ඝාතනය කළේ ඇයි. පොලිසියට විසඳන්න තිබූ තවත් ප්‍රශ්නයකි.



මාගේ බිරියගේ මරණය සඳහා සියයට සියයක්ම වගකිව යුත්තා මමයි. එය කළේ පරම පවිටු උතුම් චේතනාවකින් යුතුවයි. ඇය මේ ලෝකයේ තව දුරටත් දුක් වේදනා, තාඩන, පීඩන විඳිනවා මා හට බලා සිටින නොහැකි නිසා මෙම මරණය කළා. මට මේ වෙනුවෙන් 100%ක්ම නීතියෙන් සහ පාපයෙන් යන දෙකෙන්ම මෙලොව පරලොව වශයෙන් දඬුවම් ලැබිය යුතුයි යැයිද එහි සඳහන්ව ඇත.

සුජාතා මේ තත්ත්වයට පත්වීමට ප්‍රධානතම තම වැරැදි ක්‍රියා කලාපය සහ වැරැදි ජීවන රටාව බවත් අවසානයේ පෙම්වතිය ලෙස ජීවත්වූ ඈගේ මරණය කළේද තමන්ම බවද පිළිගන්නා බවත් එහි ලියා තිබිණි.

එම ලිපියේ තවත් ප්‍රේම කතාවක් හා පලිගැනීමක් ගැනද සඳහන් විය. ඒ තම පෙම්වතිය පුද්ගලයන් දෙදෙනකු විසින් ඈට බියර් පානය කරවා දූෂණයට ලක්කර විදේශිකයන්ට අලෙවි කිරීම සහ තවත් කාන්තාවක් විසින් ඇයව සමලිංගික සේවනයේ යෙදවීමේ සිද්ධියක්ය. ඊට සම්බන්ධ ගාල්ල උණවටුනේ තිදෙනකු ඝාතනය කිරීමට සිටීමේදී තමා තුළ වූ ඒ චේතනාව වෙනස් කර ඇත්තේ සුජාතා බවද එම ලිපියේ සඳහන්ය.

මෙම සැකකරු හා ඝාතනනයට ලක්වූ සුජාතා සමග තලංගම ලැගුම්හලේ පසුගිය 28 වැනිදා රාත්‍රිය ගතකළ අවස්ථාවේ දී ඇයගේ හිස මත තම අත තබා තමාගෙන් ගත් දිවුරුමක් ගැනද මෙම ලිපියේ සඳහන්ව ඇත.

“මා හට ඇය තවදුරටත් දුක්විඳිනවා බලාගෙන සිටීමටත්, දරා ගැනීමටත් නොහැකි තරම් බලවත් සිත් වේදනාවක් නම් ඇයත් කුමක් කළත් ඉන්පසු යළි කවර කවදාවත්ම වෙනත් කිසිවකුගේ ජීවිතයකට කිසිදු හෝ හානියක් හිංසාවක් පීඩාවක් වෛරයක් නොකරන මෙන් ඇය මා වෙතින් දිවුරුම් ගත්තා” යනුවෙන් ඔහු ලිපියේ ලියා තිබේ.



එම ලිපියේ අවසන් වශයෙන් සටහන් කර ඇත්තේ සමාජයට පූර්වාදර්ශයක් දීම පිණිස අපරාධ සමාජයෙන් අවම කරවීමට කළ හැකි ක්‍රියාවක් වශයෙන් තමාට මරණ දඬුවම ලබා දී, ජනාධිපතිවරයාගෙන් ද අනුමැතිය ගෙන තමා එල්ලා දමා තවත් එක් අයකු හෝ සිදු කිරීමට ඇති එක් අපරාධයක් හෝ අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසය. තමන් මෙවැනි ලිපියක් ලියන්නේ තමාගේ උතුම් වූ සුජාතාව තමාට දින කිහිපයක් දුන් උතුම් ධර්ම දානයට තමා මිය යන්නට දිනකට හෝ කලින් යම් කුසලයක් කර එය ඇය වෙනුවෙන් අනුමෝදන් කිරීමට බවය.

මෙම ඝාතනයෙන් පසු සියදිවි හානි කර ගැනීමට සිටි තමන් එය වෙනස් කරගත් බවත් තමා පොලිසියට බාර වීමට සූදානම් බවත් එම ලිපියේ සඳහන්ව තිබුණත් සැකකරු එසේ පොලිසියට බාර නොවීය. කෙසේ නමුදු මේ ලිපිය සැකකරු විසින්ම ලියා තැබූ බව තවමත් තහවුරු වී නොමැතිය. එම ලිපියේ අඩංගු තොරතුරුවල සත්‍ය අසත්‍යතාවද තවමත් තහවුරු වී නොමැත. ඒ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට සැකකරුගෙන් ප්‍රශ්න කළ යුතුය. නමුත් පොලිසිය සඳහන් කරන්නේ සැකකරු මේ වනවිට තැනින් තැන සැඟවී සිටින බවය. මීට අදාළව විමර්ශන කරන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට තොරතුරක් ලැබෙන්නෙ ඝාතකයාගේ ජංගම දුරකතනය අනුරාධපුර ප්‍රදේශයේ තිබෙන බවටය. ඒ අනුව කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වන්නේ සැකකරු තම දුරකතනය පිටකොටුව ප්‍රදේශයේදී අනුරාධපුර පුද්ගලයකුට අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවය. කෙසේ වෙතත් සැකකරු සොයා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මෙම ඝාතනය සැකකරුගේ මානසික ආතතිය මත සිදුවූයේද? එසේත් නැතිනම් මරණකාරියගේ මානසික ආතතිය මත ඇගේ කැමැත්තෙන් සිදුවූයේ ද යන්න ප්‍රශ්නයක් බවත් එම ප්‍රශ්නයට පිළිතුර ඇත්තේද ඇයගේ පෙම්වතා වූ සැකකරු සතුව බවත් පොලිසිය සඳහන් කරයි.

එෆ්. අස්ලම්